JAAF, පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් දිනාගත් ජාතික ජන බලවේගයට සුබ පතමින් ඉදිරියේදී සහයෝගයෙන් කටයුතු කිරිමට බලාපොරොත්තු වෙයි

Share with your friend

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රය නියෝජනය කරන ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF), මෙවර මහ මැතිවරණයෙන් පැහැදිලි හා ශක්තිමත් බහුතර ජනවරමක් දිනාගත් ජාතික ජන බලවේගයට (NPP) සිය සුභාශිංසන එක් කළේය. මෙම නව පරිච්ඡේදය සමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට, තිරසාර රැකියා උත්පාදනය කිරීමට සහ 2030 වන විට ඩොලර් බිලියන 25 ක වෙළඳ භාණ්ඩ අපනයන ඉලක්කය කරා ළඟා වීමට සහාය වීමට අභිනව නායකත්වය සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම JAAF නැවතත් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තය ජාතික ආර්ථිකයේ වැදගත් සාධකයක් වන අතර එය තීරණාත්මක අපනයන ආදායමක් උපයමින් සහ ලක්ෂ ගණනකට රැකියා සපයා දෙයි. රට ආර්ථික අභියෝගවලට මුහුණ දෙන අවස්ථාවේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාවය තුළින් ශ්‍රී ලංකාව ස්ථාවර සහ සංවර්ධනය කරා යන ගමනට ශක්තිමත් අඩිතාලමක් සකස් කළ හැකි බව JAAF විශ්වාසය පළකරයි. ජාතික ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා තීරණාත්මක වන කර්මාන්තයේ තරඟකාරිත්වය සහ ආර්ථික දායකත්වය වැඩිදියුණු කරන ප්‍රතිපත්ති කෙරෙහි නව පාර්ලිමේන්තුව අවධානය යොමු කරනු ඇතැයි එම සංගමය අපේක්ෂා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් JAAF මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා පැවසුවේ “වත්මන් ගෝලීය වාතාවරණය තුළ වෙළෙඳාම, ආයෝජන සහ කාර්මික සංවර්ධනය සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම අන් කවරදාටත් වඩා වැදගත් වී තිබෙනවා. නව රජය ආර්ථික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කරන, විදේශ ආයෝජන දිරිමත් කරන සහ ජාත්‍යන්තර වෙළෙඳාමේ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කීර්තිය තවත් ශක්තිමත් කරන ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. ඒවගේම නියාමන ක්‍රියාවලීන් විධිමත් කිරීම, වෙළඳ පහසුකම් වැඩිදියුණු කිරීම සහ හිතකර වෙළෙඳ ගිවිසුම් ආරක්ෂා කිරීම මගින් ඇඟලුම් කර්මාන්තයට තිරසාර ලෙස වර්ධනය වීමටත් ශ්‍රී ලාංකිකයින්ට නව රැකියා අවස්ථා නිර්මාණය කිරීමටත් හැකි වනවා.” යනුවෙනි.

සදාචාරාත්මක නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස JAAF සමාජ හා පාරිසරික වගකීම් සම්බන්ධයෙන් උසස් ප්‍රමිතීන් පවත්වාගෙන යාමට සහ ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. තවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය එහි සදාචාරාත්මක සහ වගකිවයුතු භාවිතයන් සඳහා ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් අත්කරගෙන ඇත. මෙම වටිනාකම් ආරක්ෂා කිරීමට සහ වගකිවයුතු නිෂ්පාදන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්තිය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා නව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට JAAF අපේක්ෂා කරයි.

තිරසාර ඇඟලුම් සඳහා ගෝලීය ඉල්ලුම ඉහළ යාමත් සමඟ, සදාචාරාත්මක ක්‍රමෝපායන් සහ පාරිසරික වගකීම් සඳහා නායකත්වය දීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇත. තවද ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය සඳහා වගකිවයුතු සහ තිරසාර වර්ධනයක් ප්‍රවර්ධනය කරන රාමුවක් සකස් කිරීම සඳහා නීති සම්පාදකයින් සමඟ කටයුතු කිරීමට JAAF නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙයි.

නවෝත්පාදන, තිරසාර සංවර්ධනය සහ සදාචාරාත්මක භාවිතයන් සඳහා දැඩි කැපවීමක් තුළින් රටේ දියුණුයට දායක වීමට JAAF කැපවී සිටී.


Share with your friend