Kaspersky 2025 පළමු කාර්තුවේ දත්ත විශ්ලේෂණය තුළින් ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාවට වැදගත් කරුණු රැසක් හෙළිවෙයි

Share with your friend

ගෝලීය සයිබර් ආරක්ෂණ සහ ඩිජිටල් රහස්‍යතා සමාගමක් වන Kaspersky, ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා අන්තර්ජාල පරිශීලකයින්ට බලපාන සයිබර් තර්ජනවල මූලාරම්භය පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පසුගියදා අනාවරණය කරන ලදී.  Kaspersky පාරිභෝගිකයෙකු සයිබර් තර්ජනයකට මුහුණ දුන් විට, සමාගම එහි ආරක්ෂක පද්ධති මගින් අදාළ තර්ජනය සිදුකරන භූගෝලීය පිහිටීම වාර්තා කිරීමට සමත්ය. ඒ හරහා සයිබර් ප්‍රහාර සිදුවන ස්ථාන මෙන්ම ඒවායේ ගෝලීය සහ දේශීය ව්‍යාප්තිය පිළිබඳව දත්ත රැසක් ලබාගත හැක. 

ඒ අනුව වාර්තා වී ඇති සයිබර් තර්ජනවලින් වැඩිම ප්‍රමණයකට නෙදර්ලන්තය කේන්ද්‍ර කරගත් සයිබර් අපරාධකරුවන් වගකිව යුතු බව වාර්තා වී තිබේ. එය සමස්ත සයිබර් තර්ජන අතුරින් සියයට 46.37ක ප්‍රතිශතයකි. ඊට අමතරව ජර්මනිය, රුසියාව, පෝලන්තය සහ සිංගප්පූරුව යන රටවල් ඉහළම සයිබර් තර්ජන මූලාශ්‍ර ලෙස හඳුනාගෙන තිබේ. මෙම සයිබර් අපරාධවල භූගෝලීය ව්‍යාප්තිය හරහා ඒවා සිදුවන ස්ථානවලට වඩා ඊට අදාළ යටිතල පහසුකම්වල රටාවක් පිළිබිඹු කිරීම විශේෂත්වයකි.

2025 ජනවාරි සිට මාර්තු දක්වා එකතු කරන ලද දත්ත මත පදනම්ව, Kaspersky හි පද්ධති මගින් අනාවරණය කරගත් සයිබර් සිදුවීම්වලින් 0.02% ක් ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුව ඇති අතර, එම සිදුවීම් ප්‍රමාණය 81,284 කි. ඒ අනුව ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ගේ කේන්ද්‍රගතවීම අතින් ලොව 60වන ස්ථානයේ සිටී. ගෝලීය වශයෙන් සලකන විට සාපේක්ෂව එය කුඩා ප්‍රමාණයක් වුවද, දේශීය ඩිජිටල් පරිසර පද්ධතියට ඇති අවදානම ඉන් මැනවින් පිළිබිඹු වේ.

ශ්‍රී ලංකාව කේන්ද්‍රකරගත් සිදුවීම් ප්‍රතිශතය ඇතැම් රටවල්වලට වඩා පහළ මට්ටමක පැවතුණද, දේශීය හා ජාත්‍යන්තර මට්ටමින් සයිබර් ආරක්ෂණ සුපරීක්ෂාකාරිත්වය වැඩිදියුණු කිරීමේ කාලීන වැදගත්කම මෙම දත්ත මගින් අවධාරණය කෙරේ. සයිබර් අපරාධකරුවන් සිය ප්‍රහාර දියත් කිරීම සඳහා වෙබ් සේවාවන්හි ඇති අඩුලුහුඬුතා උපයෝගීකරගෙන ඇති අතරම වෙබ් සේවා පැහැරගැනීම සිදුකර තිබේ. එමගින් බොහෝ විට නීත්‍යානුකූල ක්‍රියාකරුවන්ගේ දැනුවත්භාවයකින් තොරව, වෛරස් මෘදුකාංග බෙදා හැරීම, phishing ආදී සයිබර් තර්ජන ඇති කර ඇත.

“සයිබර් තර්ජනවල ගෝලීය වශයෙන් පැතිර ඇති නිසා කිසිදු රටක් ඉන් නිදහස් නොවේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය ද ඊට වෙනස් නැත,” යනුවෙන් Kaspersky හි ආසියාවේ නැගී එන රටවල් කලාපයේ විකුණුම් ප්‍රධානී සෑම් යැන් මහතා පැවසුවේය. “විදේශීය මෙන්ම දේශීය වශයෙන් සයිබර් තර්ජන ඇති විය හැකි බව අවබෝධ කර ගැනීම හරහා, ආයතන තම පද්ධති සහ දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා පුළුල්, ක්ෂණික සයිබර් ආරක්ෂණ පියවර අනුගමනය කිරීමට උනන්දු කරවනු නොඅනුමානයි”, ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

Kaspersky ලොව පුරා වෙබ් සේවාවල දත්ත ප්‍රවාහ විශ්ලේෂණය කරමින් සයිබර් තර්ජන හඳුනාගෙන ඒවා අවහිර කරයි. එනම්, පරිශීලකයින්ට බලපෑම් කිරීමට පෙර වෛරස් මෘදුකාංග සහ අනෙකුත් සයිබර් අවදානම් වළක්වා ගැනීමට උපකාරී වන සක්‍රීය ආරක්ෂාවක් සපයයි.

සයිබර් අපරාධ දිනෙන් දින වැඩි වෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සහ පුද්ගලයින් තම සයිබර් ආරක්ෂාව වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබේ. මෙම සයිබර් තර්ජනවලට එරෙහිව සටන් කිරීම සඳහා දියුණු ආරක්ෂක විසඳුම් පමණක් නොව, දේශීය හා ගෝලීය මට්ටමින් සයිබර් අපරාධකරුවන් විසින් භාවිතා කරනු ලබන නවීන උපක්‍රම පිළිබඳ දැනුවත්භාවයක් තිබීම ද වැදගත් වේ.


Share with your friend