SDB බැංකුව ස්ථාවර ප්‍රගතියක් මෙන්ම සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් වටිනාකම් තිළිණ කිරීම සහ දීර්ඝකාලීන තිරසාරත්වය සඳහා වන කැපවීම මැනැවින් පිළිබිඹු කරමින්, 2025 වර්ෂයේ ප්‍රථම කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වී තිබේ. ක්ෂේත්‍රය තුළ පැවති අභියෝග සහ අරමුදල් ව්‍යුහයන් නැවත සකස් වීම වැනි දුෂ්කරතා මධ්‍යයේ වුවද බැංකුව මූල්‍ය ස්ථාවරත්වය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව කෙරෙහි අවධානය යොමුකරමින්, කිසිදු භේදයකින් තොරව සියලුම දෙනා වෙත බැංකු සේවාවන් සමීප කරවීම සඳහා කැප වී කටයුතු කළේය.

2025 මාර්තු 31 දිනයෙන් අවසන් වූ කාර්තුව තුළ රු. මිලියන 56 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට බැංකුව සමත් විය. ශුද්ධ පොලී ආන්තිකය 5.60% දක්වා පදනම් අංක 42 කින් වැඩිදියුණු වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වූ අතර එය, එය ණය අනුපාත ක්‍රමෝපායිකව සංශෝධනය කිරීම සහ ප්‍රශස්ත අරමුදල් සම්මිශ්‍රණයක වැදගත්කම මැනැවින් පිළිබිඹු කරන සාධකයකි. පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව ශුද්ධ පොලී ආදායම මද වශයෙන් පහළ ගොස් ඇති නමුත්, ගාස්තු පදනම් කරගත් ආදායම් මාර්ගවල කැපීපෙනෙන ප්‍රගතියක් වාර්තා වී තිබේ. බැංකුවේ ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 53% කින් ඉහළ ගොස් ඇති අතර, ඩිජිටල් භාවිතය ක්‍රමයෙන් වැඩි වීම සහ ගනුදෙනුකරුවන් වෙත ලබාදෙන සේවාවන් වැඩිදියුණු වීම මෙමගින් මැනැවින් ගම්‍ය වේ.
ණය හානිකරණ වියදම් (Impairment Charges) 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 31% කින් පහළ ගොස් තිබේ. ණය නැවත අයකර ගැනීම සඳහා කඩිනමින් පියවර ගැනීම, අවදානම් ආකෘති නැවත සකස් කිරීම සහ ගනුදෙනුකරුවන් සම්බන්ධ ගැටලු විසඳීමට නොපමාව මැදිහත් වීම ආදිය මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. විශේෂයෙන්ම බැංකුවේ අදියර 3 ණය සඳහා වන ආවරණ අනුපාතය පසුගිය වසරේ වාර්තා වූ 47.78% සිට 2025 මාර්තු 31 දින වන විට 49.72% ක දක්වා වර්ධනය වී ඇති අතර, එය ණය අවදානම් කළමනාකරණ කටයුතු ශක්තිමත් වී ඇති බවට මනා සාක්ෂියකි.
ප්‍රධාන වශයෙන් ඉහළ පිරිවැයක් සහිත ණය ගැනීම් පියවීම සහ විනිමය අගය ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වත්කම් පදනම 2% ක් වැනි සුළු ප්‍රතිශතයකින් පහළ ගියද, මෙම විශ්ලේෂණයට අදාළ කාර්තුව තුළ පාරිභෝගික ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 2 කින් වර්ධනය වූ අතර එය ණය සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වීම පිළිබිඹු කරයි. මීට සමගාමීව SDB බැංකුවේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය 234.15% ක් ලෙස අවම නියාමන සීමාවන්ට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවති අතර මෙය වෙළඳපොළ ප්‍රවණතා තුළ විශ්වාසය සහතික කළ සාධකයක් විය.
එමෙන්ම ප්‍රධාන වශයෙන් උද්ධමනයේ පීඩනයන් සහ කාර්ය මණ්ඩල පිරිවැය සංශෝධනයන් හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව පරිපාලන වියදම් 10% කින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් පිරිවැය පාලනය කරමින් සමස්ත කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා බැංකු සක්‍රීය ලෙස පියවර ගනිමින් සිටී.
මෙම ප්‍රතිඵල සම්බන්ධයෙන් SDB බැංකුවේ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ අදහස් දැක්වීය. “අපගේ පළමු කාර්තුවේ කාර්ය සාධනය ශේෂ පත්‍ර කළමනාකරණය සහ දීර්ඝකාලීන වටිනාකම් නිර්මාණය සඳහා අනුගමනය කළ විධිමත් ප්‍රවේශයක ප්‍රතිඵල පිළිබිඹු කරනවා. අප ප්‍රධාන ආදායම් මාර්ග ශක්තිමත් කිරීම, ගුණාත්මක වත්කම්වල තෝරාගත් වර්ධනය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කරන අතරම අස්ථාවරත්වය අවම කරන අරමුදල් ක්‍රමෝපායක් සඳහා ප්‍රමුඛත්වය ලබාදුන්නා. ඉදිරියටත් අප වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීම, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නගාසිටුවීම සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය පුළුල් කිරීම මෙන්ම ශක්තිමත් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා තත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් කැප වී සිටිනවා.”
කාර්තුව අවසානයේ SDB බැංකුවේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 16.40% ක් සහ අදියර 1 පොදු කොටස් අනුපාතය 15.01% ක් වූ අතර, එය අනාගත ණය දීම් සහ ආයතනික දියුණුව අරමුණු කරගත් වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ හැකියාව වැඩිදියුණු කළ සාධකයක් විය. මෙම සමාලෝචනයට අදාළ කාර්තුව තුළ බැංකුවේ වත්කම් මත ප්‍රතිලාභ 0.82% ක් වූ අතර කොටස් මත ප්‍රතිලාභ වාර්තා වූයේ 1.53% ක් ලෙසිනි.
ආයෝජකයින්ගේ විශ්වාසය අලුත් වීම, ඩිජිටල් යටිතල පහසුකම් හඳුන්වා දීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තිරසාර මැදිහත් වීම යන සාධක තුළින් පන්නරය ලබමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ මත පදනම් වූ ආර්ථික ගමන් මඟ හැඩගැසෙමින් පවතින මේ මොහොතේ, SDB බැංකුව ජාතික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වීමට හැකි පරිදි මැනැවින් ස්ථානගත වී ඇත. රට පුරා ශාඛා 94 ක් විවෘත කර ඇති, පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන මූලධර්ම දැඩි ලෙස අනුගමනය කරන SDB බැංකුව ඉදිරියටත් ප්‍රජා මූලික බැංකුකරණය ඔස්සේ අනාගතයට ගැළපෙන මූල්‍යමය විසඳුම් හඳුන්වා දීම සඳහා සූදානමින් සිටී.