SLIIT ආයතනය, ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෙබ් අඩවිය නව මුහුණුවරකින් දියත් කරයි.

Share with your friend

ශ්‍රී ලංකාවට සිය කුළුදුල් ඔලිම්පික් පදක්කම දිනා දෙමින් ඩන්කන් වයිට් මහතා ලන්ඩන් නුවරදී සිය තරග‍ය නිමකර මේ වන විට වසර 75කට අධික කාලයක් ගතවී අවසන් ය. එලෙස මෙරටට ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහන ගෙන ඒමට වෙරදරන අධිෂ්ඨානශීලී ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  හෙට දින වෙනුවෙන් මේ වන විට ඒ සඳහාම නිර්මාණය වූ සුවිශේෂී වේදිකාවක් ඇත.

මෙලෙස ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවීකරණය කරන ලද වෙබ් අඩවිය SLIIT මාලඹේ ආයතනයේදී පැවති විශේෂ උත්සවයක් අතරතුර දියත් කරන ලදී. SLIIT ආයතනයේ 25 වන සංවත්සරය සනිටුහන් කරමින්, සමාජ සත්කාරක වැඩසටහනක් (CSR) ලෙස මෙම වෙබ් අඩවිය වැඩිදියුණු කර නිර්මාණය කරන ලදී. https://olympians.lk/ යන වෙබ් ලිපිනය ඔස්සේ පිවිසිය හැකි මෙම වෙබ් අඩවිය, 1948 සිට වර්තමානය දක්වා ඔලිම්පික් උළෙල සඳහා තරග කළ සෑම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවකගේම තොරතුරු ඇතුළත් කිරීමට වෙන්වූ, අංග සම්පූර්ණ දිකාවක් ලෙස ක්‍රියා කරයි.

මේ දක්වා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 107 දෙනෙකු ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර ඔවුන්ගෙන් 30 දෙනෙකු පමණ මේ වන විට දැයෙන්  සමුගෙන ඇත. ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 50 දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ වාසය කරන අතර, 27 දෙනෙකු පමණ විදේශගතව සිටියි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ස්වකීය දක්ෂතා සුරැකීමට සහ අනාගත පරපුර දිරිගැන්වීමට වූ ස්ථිර වේදිකාවක පැවති හිඩස සහ එහි කාලීන අවශ්‍යතාව දීර්ඝ කාලයක් තිස්සේ පැවතිණි. මෙම නව දියත් කිරීමත් සමඟ, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තොරතුරු, යාවත්කාලීන කිරීම් සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් පිළිබඳ විස්තර ලබා දෙමින් මෙම වෙබ් අඩවිය හරහා එම අරමුණ ඉටු කරයි.

කෙසේ වෙතත්, මෙම ගමන අභියෝගවලින් තොර වූ එකක් නොවීය. මෙම වේදිකාව පිළිබඳ අදහස ප්‍රථම වරට 2012 දී සහ නැවත 2016 දී සාකච්ඡාවට ලක් වූ අතර, ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්, සාකච්ඡා වට කිහිපයකට සහභාගී වෙමින් ඩිජිටල් අවකාශයේ නියෝජනයක අවශ්‍යතාව අවධාරණය කළහ. මෙම මුලපිරීමට, මුලික උනන්දුවක් පැවතිය ද, ව්‍යාපෘතිය ආරම්භ කිරීම තරමක් අභියෝගාත්මක එකක් විය. මෙම සංකල්පයට නව ජවයක් ලැබුණේ, 2017 ජූලි 15 වන දින ශ්‍රී ලංකාව ලෝක ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමය (World Olympians Association – WOA) සමඟ නිල වශයෙන් ලියාපදිංචි වීමෙන් පසුවය. WOA හරහා, සහභාගී වන සෑම ක්‍රීඩකයෙකුටම ඔලිම්පික් සාරධර්ම ප්‍රවර්ධනය කිරීමේදී ඔවුන්ගේ කාර්යභාරය ඇගයීමට ලක් කරමින් OLY යන ගෞරවනීය පශ්චාත්-නාමික නාමය (post-nominal title) පිරිනැමේ. සාමාජික රටවල් 158කින් සමන්විත ගෝලීය ප්‍රජාවට එක්වෙමින්, WOA සමඟ අනුබද්ධ වූ 148 වන රට බවට ශ්‍රී ලංකාව පත් විය.

ශ්‍රියානි කුලවංශ (OLY), ජුලියන් බෝලින් (OLY), දමයන්ති දර්ශා (OLY), සුසන්තිකා ජයසිංහ (OLY), දම්මිකා මැණිකේ (OLY), මංජුල කුමාර (OLY) ඇතුළු මෙරටට කීර්තියක් ගෙන ඒමට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මෙම සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා නිරන්තරයෙන් සකච්ඡා වට පැවත්වූහ. ඔවුන්ගේ දැක්ම වූයේ හුදු නාම ලේඛනයකට වඩා වැඩි යමක් නිර්මාණය කිරීමයි. එමෙන්ම මේ තුළින්, ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාධනයට සහාය වීම, කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මග පෙන්වීම සහ අධ්‍යාපනික වැඩසටහන් සහ ප්‍රජා ක්‍රියාකාරකම් හරහා පාසල් දරුවන්ට විනය සහ කැපවීම වැනි සාරධර්ම හඳුන්වා දීම ඔවුන්ගේ මූලික ඉලක්කය විය.

මෙම වෙබ් අඩවිය ඩිජිටල් ලේඛනාගාරයක් මෙන්ම ප්‍රජා වේදිකාවක් ලෙස ද ක්‍රියා කරයි. පාසල් සඳහා දිරිගැන්වීමේ වැඩසටහන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධ කර ගැනීමේ වැඩසටහන් මෙන්ම, ක්‍රීඩකයින්ගේ උරුමය සහ තිරසාරත්වය යන සාධක ද්විත්වයම සංකේතවත් කරමින්, මෙරට නියෝජනය කළ සෑම ඔලිම්පික් ක්‍රීඩකයෙකුටම ගෞරවයක් ලෙස ඔවුන්ගේ නමින් ගසක් නම් කරනු ලබන වෘක්ෂලතා රෝපණ ව්‍යාපාරයක් ද මීට ඇතුළත් වේ.

මෙම සුවිශේෂී මුලපිරීම සඳහා SLIIT ආයතනය සම්බන්ධ කර ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයේ වත්මන් සභාපතිනී ශ්‍රියානි කුලවංශ (OLY) මහත්මිය විසිනි. SLIIT ක්‍රීඩා සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමෙන් අනතුරුව, ඇය මෙම සංකල්පය SLIIT උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා සමඟ බෙදා ගන්නා ලදී.

“මම මහාචාර්ය ගමගේ මහතාගෙන් මෙම ඉල්ලීම මුලින්ම කළ විට, ඔහු ඊට කිසිවිටෙකත් පසුබට වූයේ නැහැ, ක්‍රීඩාවට දැඩි ලැදියාවක් දක්වන්නෙකු ලෙස, මහාචාර්ය ගමගේ මහතා මෙම වැඩසටහනේ වටිනාකම ක්ෂණිකව හඳුනා ගත්තා. වසරකට ආසන්න කාලයක් පැවති රැස්වීම් සහ සාකච්ඡාවලින් අනතුරුව, SLIIT ආයතනය මෙම දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට අපට උදව් කළා. ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් යනු ජාතික සම්පතක් වන අතර, ඔවුන්ගේ ජයග්‍රහණ සිහිපත් කිරීම සහ ඔවුන්ගේ අත්දැකීම් ඊළඟ පරපුරට ලබා දීම මෙම වෙබ් අඩවිය මගින් සහතික කරනවා.” යනුවෙන් ශ්‍රියානි කුලවංශ (OLY) මහත්මිය පැවසීය.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූ අතර, ඒ අතර සුගත් තිලකරත්න OLY (ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය), ශ්‍රියානි කුලවංශ OLY (ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩකයන්ගේ සංගමයේ සභාපතිනී), සුනිල් ගුණවර්ධන OLY, රුවිනි අබේමාන්න OLY, මහේෂ් පෙරේරා OLY, කේ.ටී.එන්. පෙරේරා OLY, නිම්මි ද සොයිසා OLY, අනුරුද්ධ රත්නායක OLY, සහ නිලූකා රාජසේකර OLY යන මහත්ම මහත්මීහු ද වූහ. SLIIT ආයතනය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ නායකත්වය සහ නියෝජිතයින් වන කුලපති/සභාපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සහ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය නිමල් රාජපක්ෂ, උදිත ගමගේ මහතා, රන්මිණි උනන්තැන්න මහත්මිය, රොෂානි මධාරසිංහ මහත්මිය, තුෂාර ප්‍රියංක මහතා, තිමිර පෙරේරා මහතා, සුරේෂ් රත්නායක මහතා සහ ධනුෂි සිරිවර්ධන මහත්මිය සහභාගී වූහ.

මීට අමතරව, SLIIT සිසුන්ගේ ක්‍රීඩාශීලීත්වය සහ උද්යෝගිමත් ජීවගුණය ඉස්මතු කරමින්, එහි කීර්තිමත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ද මෙම අවස්ථාවට එක් වූහ: කෝෂිලා අමරසිංහ මෙනවිය (කාන්තා උස පැනීමේ වත්මන් ජාතික ශූරිය), ගලීනා බස්නායක මෙනවිය (ජාත්‍යන්තර පදක්කම්ලාභී පැරා පිහිනුම් ක්‍රීඩිකා), නෙතංගා ගුණරත්න මෙනවිය (ශ්‍රී ලංකා ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකා), සේනත් රාජපක්ෂ මහතා (ජාතික මට්ටමේ කැරම් ක්‍රීඩක) සහ චෙහාන් වීරසිංහ මහතා (ජාතික චෙස් ක්‍රීඩක).

මහාචාර්ය ලලිත් ගමගේ මහතා උත්සවය අතරතුර සිය අදහස් මෙසේ පළ කළේය: “නවීකරණය කරන ලද ශ්‍රී ලංකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වෙබ් අඩවිය දියත් කිරීමට ලැබීම ගැන අපි ඉමහත් ආඩම්බරයට පත්වනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමටත්, අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජයග්‍රහණ සඳහා වැඩි ප්‍රසිද්ධියක් ලබා දීමටත් මෙය වැදගත් පියවරක් බව මම විශ්වාස කරනවා. මමත් ක්‍රීඩකයෙකු වූ නිසා, අධ්‍යාපනය සහ ක්‍රීඩාව සමබර කර ගැනීම කෙතරම් අභියෝගාත්මක දැයි මම දන්නවා. ශ්‍රී ලංකාව තුළ ඉහළ පරිසාධන මට්ටම්වල දක්ෂතා තිබුණත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් මට්ටමට ළඟා වීමට අවශ්‍ය නිසි සම්පත් සහ ආර්ථික සහයෝගය නොමැතිකම, ඔවුන් මුහුණ දෙන්නාවූ ප්‍රධානතම අභියෝගයයි.

SLIIT හි අපගේ අරමුණ වෙනස්. අධ්‍යාපනය යනු හුදෙක් ශාස්ත්‍රීය දැනුමට පමණක් සීමා නොවිය යුත්තක් බව අප සෑම විටම විශ්වාස කළා. වර්ථමානයේදී අප ආයතනය හරහා ක්‍රීඩාවන් 22කට වැඩි සංඛ්‍යාවක් පිරිණමන අතර, අපගේ සියලුම සිසුන් ඊට සම්බන්ධ වීමට දිරිමත් කරමින්, ඔවුන්ගේ කුසලතා සහ පෞරුෂය යන දෙකම වර්ධනය කිරීමට උදව් කරනවා. අපගේ උපාධිධාරීන් පූර්ණ පෞරුෂයකින් හෙබි, සමාජයට ධනාත්මකවූ බලපෑමක් ඇති කරන චරිත බවට පත්ව ඇත්තේ ඒ නිසයි.”

ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “පාසල් මට්ටමේ සිටම වුවද, ශිෂ්‍යයෙකු දක්ෂතාවක් පෙන්නුම් කරන්නේ නම්, ලෝකයේ අනෙකුත් ඉහළම විශ්වවිද්‍යාල මෙන්ම, ඔලිම්පික් මට්ටමට ළඟා වීමට අවශ්‍ය ශිෂ්‍යත්ව, පුහුණුවීම් සහ සියලු මගපෙන්වීම් ලබා දී ඔවුන්ට සහාය වීමට අපි සූදානම්. මෙම වෙබ් අඩවි නවීකරණය එවැනි එක් සමාජ සත්කාරක වැඩසටහනක්. මෙය අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම රටේම උන්නතිය උදෙසා තබන පළමු පියවරයි.”


Share with your friend