SLT-Mobitel වෙතින් හරිතවත් හා තිරසාර හෙටක් වෙනුවෙන් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක්

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාස වල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එම අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූහ. 

මෙම රුක්රෝපණ වැඩසටහන සඳහා ප්‍රධාන වශයෙන් මී ගස තෝරාගෙන තිබේ. කෘමි සතුන් පාලනයට ඉන් ලැබෙන දායකත්වය, කාබනික පොහොර නිෂ්පාදනය සඳහා යොදාගත හැකි වීම, වාතය පිරිසිදු කිරීමේ හැකියාව සහ ස්වාභාවික ඖෂධයක් ලෙස භාවිතා වීම යනාදී සාධක මෙහිදී සැලකිල්ලට ගෙන ඇත. මෙහි පළමු අදියර යටතේ මීයාගල ප්‍රථමික විද්‍යාලයේ මී පැළ රෝපණය කරන ලද අතර, මීයාගල ගම්වාසීන් අතර පැළ 500 ක් බෙදාදෙන ලදි. 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වී ය. “වගකීම් සහගත ආයතනයක් වශයෙන්, අප ආශ්වාස කරන වාතය පිරිසිදු කිරීමටත්, දේශගුණ වෙනස්කම් අවම කිරීමටත්, ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩිදියුණු කිරීමටත් අප කැපවී සිටිනවා. එම කැපවීම ඔස්සේ මේ වසරේදී, පරිසරය සුරකිමින් හරිතවත් හෙට දවසක් නිර්මාණය කිරීම සඳහා අප මෙම දීපව්‍යාප්ත වැඩසටහන දියත් කළා. මේ ඔස්සේ සෑම කෙනෙකුටම ඵලදායී වෙනසක් සිදුකළ හැකි බව අප තරයේ විශ්වාස කරනවා.” 

SLT-MOBITEL පරිසර සහ සමාජ වගකීම් වැඩසටහනේ කොටසක් ලෙස ක්‍රියාවට නැංවෙන මෙම රුක්රෝපණ වැඩසටහනේ මූලික ඉලක්ක වන්නේ, වනාන්තර ප්‍රවර්ධන කිරීම සහ කාබන් ඩයොක්සයිඩ් ස්වාභාවිකව වාතයෙන් ඉවත් වීමේ හැකියාව වැඩිදියුණු කිරීම ය. මේ ඔස්සේ හරිතාගාර වායු අවම කිරීම, වාතය වඩාත් හොඳින් පිරිසිදු වීම, රටේ විවිධ ප්‍රදේශ වල ජෛව විවිධත්වය ආරක්ෂා වීම, කාබනික පොහොර නිෂ්පාදනය වැඩි වීම සහ මී ගස සංරක්ෂණය කිරීමේ වැදගත්කම ජනතාවට අවබෝධ වීම වැනි ප්‍රතිලාභ රාශියක් හිමි වේ. මීට අමතරව ‘තුරු’ ජංගම යෙදුම ඔස්සේ, මෙම රුක්රෝපණ වැඩසටහන යටතේ රෝපණය කෙරෙන සෑම ගසකම වර්ධනය නිරීක්ෂණය කිරීමට SLT-MOBITEL කටයුතු යොදා ඇති අතර, එය මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය තීරණය කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත. 

රුක්රෝපණ වැඩසටහනට අමතරව, ග්‍රාමීය පාසල් වල අධ්‍යාපනය නැංවීම අරමුණු කරගත් ‘හිතක් ඇත්නම් පොතක් දෙන්න’ වැඩසටහන යටතේ මීයාගල ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාලයට පොත්පත් පරිත්‍යාග කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. 

පරිසරය සම්බන්ධ ගැටලු වලට විසඳුම් සෙවීමේ පියවරක් වශයෙන් මීට පෙර, 2020 ‘Lanka Premier League’ (LPL) තරගාවලියට සමගාමීව, SLT-MOBITEL විසින් ‘SLT – Mobitel Green Premier League’ (GPL) වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. LPL තරගාවලියේ සෑම තරගයකම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවට සමාන පැළ සංඛ්‍යාවක් රෝපණය කරමින්, රටේ වනගහනය වැඩි කිරීමට දායක වීම මෙහි අරමුණ විය. 


Share with your friend