SLT-MOBITEL වෙතින් පොසොන් ආලෝක පූජාවට බැතිබර හා අරුත්බර දායකත්වයක්

Share with your friend

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙරට සංස්කෘතික උරුමයන් සුරැකීම උදෙසා දක්වන කැපවීමෙහි තවත් සුවිශේෂී පියවරක් වශයෙන්, පසුගියදා පැවැත්වුණු පොසොන් ආලෝක පූජා වැඩසටහනට අරුත්බර දායකත්වයක් ලබාදීමට කටයුතු කළේය. 

ශ්‍රී ලංකා රජය විසින් සංවිධානය කරන ලදුව මිහින්තලය රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම ආලෝක පූජාව, ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන බෞද්ධාගමික උරුමය මැනැවින් සංකේතවත් කළ අවස්ථාවක් විය. දිවයින පුරා වෙසෙන දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මෙම පොසොන් මහෝත්සවය දැකබලා ගැනීමට මිහින්තලය වෙත ඇදී ආහ. මෙවර පොසොන් ආලෝක පූජාවට අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද සහභාගී වූ අතර, එය මෙම උත්සවය රටට කෙතරම් වැදගත්ද යන්නට මනා සාක්ෂියක් විය. 

හුදෙක් සම්බන්ධතා පහසුකම් සැපයීමෙන් ඔබ්බට ගොස්, තිරසාරත්වය, ඩිජිටල් අන්තර්කරණය, සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම සම්බන්ධ දැක්ම ඔස්සේ මෙම පූජනීය ආලෝක පූජාවට තම බැතිබර දායකත්වය ලබාදීමට SLT-MOBITEL කටයුතු කළේය. 

පොසොන් පොහොය යනු අන්තරාවලෝකනය, එකමුතු බව සහ ආධ්‍යාත්මික භක්තිය යනාදී ගුණාංගවලට මුල් තැන දෙන අවස්ථාවක් බව අවබෝධ කරගනිමින්, මිහින්තලය පුදබිම වෙත පැමිණෙන බැතිමතුන්ට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට SLT-MOBITEL විසින් පියවර ගන්නා ලදි. සමාගමේ ප්‍රමුඛතම පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන වැඩසටහනක් වන ‘ඩේටා දන්සල’ වැඩසටහන යටතේ මෙහිදී බැතිමතුන්ට නොමිලේ ඩේටා පිරිනමන ලද අතර, එය ඔවුන්ට ආගමික කටයුතුවල නිරත වන අතර සම්බන්ධතා පහසුකම් අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා මහෝපකාරී විය. 

මීට අමතරව SLT-MOBITEL විසින් බැතිමතුන් වෙනුවෙන් අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා බස් රථ යොදවා නොමිලේ ප්‍රවාහන පහසුකම්ද සපයන ලදි. මීට සමගාමීව SLT-MOBITEL අනුරාධපුර ශාඛාව මගින් බැතිමතුන්ගේ යහපත වෙනුවෙන් අයිස් ක්‍රීම් දන්සැලක් පැවැත්වීමටද කටයුතු යොදා තිබිණි. 

පොසොන් ආලෝක පූජාවට සමගාමීව SLT-MOBITEL විසින් සිදුකරන ලද මෙම සත්කාරයන් සියල්ල, බැතිමතුන්ට නවීන ඩිජිටල් පහසුකම් පිරිනමමින් ඔවුන්ට වඩාත් පහසුවෙන් ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාව සලසා දීමේ පිවිතුරු චේතනාවෙන් යුතුව සිදුකරන ලද අර්ථවත් සමාජ මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ. 

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.sltmobitel.lk


Share with your friend