ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින්, සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපයේ ස්ථාන රැසක් සම්බන්ධ කරමින් කිලෝමීටර් 21,700 ක දිගින් යුත් SEA-ME-WE 6 මුහුදු සංඥා පද්ධතිය (Under Sea Cable) ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම පසුගියදා මාතර ප්‍රදේශයේදී සාර්ථකව සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ක්ෂේත්රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම කේබල් පද්ධතිය 2026 වර්ෂයේ මැද භාගය වන විට SLT-MOBTEL ආයතනයට සිය වාණිජ මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට හැකි වනු ඇත.
![](https://eyeviewsl.com/wp-content/uploads/2025/02/Sea-me-Image-1024x841.jpg)
SEA-ME-WE 6 සම්මුතිය සමග ඇතිකරගත් එකඟතාවක් යටතේ ඇමරිකා එක්සත් ජනපදයේ Subcom LLC සමග එක් වී මාතරදී මෙම කේබල් පද්ධතිය ස්ථානගත කිරීම සිදුකරන ලදී. SLT-MOBITEL මෙම ගිවිසුමේ නෛතික අත්සන්කරු වූ අතර එය ගෝලීය සම්බන්ධතා පහසුකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු පිළිගැනීම තවදුරටත් ඉහළ නැංවූ සාධකයක් ලෙස හැඳින්විය හැකි වේ.
SLT ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රභාත් අඹේගොඩ, එම සමාගමේ සාමාන්‍යාධිකාරී (ව්‍යාපෘති) නාලක සිරිවර්ධන, සාමාන්‍යාධිකාරී (ප්‍රවාහන පද්ධති) බුද්ධි මානගේ සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ජාල යටිතල පහසුකම් ව්‍යාපෘති) රොෂාන් ඈෂ්ටන් යන මහත්වරුන් ප්රමුඛව SLT මෙහෙයුම් කණ්ඩායමේ අධීක්ෂණය යටතේ මෙම කේබල් පද්ධතිය ස්ථානගත කිරීමේ කටයුතු සිදුකරන ලදී.
නවීනතම ෆයිබර් ඔප්ටික් තාක්ෂණයෙන් නිෂ්පාදිත SEA-ME-WE 6 කේබල් පද්ධතියට අවම බාධා සහිතව 130 Tbps වැනි වැඩි වේගවත් සන්නිවේදන පහසුකම් සැලසීමේ හැකියාව ඇත. ගිවිසුමේ හවුල්කරුවෙකු වශයෙන් මෙම ජාලයට SLT-MOBITEL සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු වන අතර, එමගින් යුරෝපයේ, මැද පෙරදිග සහ දකුණු ආසියාවේ ක්‍රමයෙන් ඉහළ යන සන්නිවේදන අවශ්‍යතා සපුරාලීමට හැකියාව ලැබේ. එමෙන්ම SEA-ME-WE 6 කේබල් පද්ධතිය ස්ථානගත කිරීමේ කටයුතු සාර්ථක ලෙස සිදුකිරීමට හැකි වීම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම් සහ ගෝලීය සම්බන්ධතා හැකියා වැඩිදියුණු කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ කැපීපෙනෙන ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැක.
මෙම ව්‍යාපෘතිය පුරාම පාරිසරික තිරසරත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇත. කේබල් ස්ථානගත කිරීම සඳහා පරිසර හිතකාමී ප්‍රවේශයක් තෝරාගැනීම සඳහා SLT-MOBITEL රජයේ දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය බලධාරීන් සමග එක්ව කටයුතු කළේ ය. පූර්ණ පරිසර තක්සේරුවක් අනුව සහ සාගර ආරක්ෂණ ප්‍රතිපත්තිවලට දැඩි ලෙස අනුගත වෙමින් කේබල් ස්ථානගත කිරීම සිදු කරන ආකාරය තීරණය කරන ලදී. කේබල් පද්ධතිය මාතර මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීමේදී පාරිසරික බලපෑම අවම කිරීම සඳහා පෙර පැවති යටිතල පහසුකම් හැකි උපරිමයෙන් භාවිතා කිරීමටද සමාගම කටයුතු කළේ ය.
මෙම නව කේබල් පද්ධතිය SLT-MOBITEL සතු SEA-ME-WE 4 හා 5 මෙන්ම Bharat-Lanka සහ Dhiraagu ඇතුළු ගෝලීය සම්බන්ධතා යටිතල පහසුකම් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරනු ඇත. මේ දක්වා පැවති SEA-ME-WE 3 කේබල් පද්ධතිය මෑතකදී භාවිතයෙන් ඉවත් කරන ලදී. ඉදිරියේදීත් සිය පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව විශිෂ්ටතම මට්ටමේ ගෝලීය සම්බන්ධතා සේවා පිරිනැමීම සඳහා දිගින් දිගටම මෙවැනි කේබල් පද්ධති සඳහා ආයෝජනය කිරීමට SLT-MOBITEL බලාපොරොත්තු වෙයි.
SLT-MOBITEL මෙම දියුණු ජාලය සමග සම්බන්ධ වීම මගින් යුරෝපය, මැද පෙරදිග සහ දකුණු ආසියාව සමග වඩාත් කාර්යක්ෂම ලෙස සන්නිවේදන කටයුතු සිදුකිරීමට හැකි වීම නිසා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික හැකියාද වර්ධනය වනු නිසැක ය. මෙම ක්‍රමෝපායික සංවර්ධන ව්‍යාපෘතිය, ක්‍රමයෙන් ඉහළ යමින් පවතින පාරිභෝගික ඉල්ලීම් සපුරාලන අතරම ශ්‍රී ලංකාව ගෝලීය දුරකථන සන්නිවේදන ක්ෂේත්රයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටද උපකාරී වනු ඇත.