Sun Siyam Pasikudah හොඳම ගෝලීය හෝටල් නිර්මාණ සැලසුමට හිමි සම්මානය දිනයි 

Share with your friend

Sun Siyam Resort සතු Privé හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah හෝටලය පසුගියදා පැවැති  Homes & Gardens Design Awards 2025 සම්මාන උළෙලේදී හොඳම ගෝලීය හෝටල් සැලසුම් සම්මානය දිනාගත්තේය. කලාත්මක නිර්මාණශීලිත්වය, සංස්කෘතික අනන්‍යතාව සහ තිරසරත්වය කැටිකරගනිමින් Sun Siyam Pasikudah හි නිර්මාණ සැලසුම්කරණය වෙනුවෙන් Studio Sixty7 හි නිර්මාතෘවරුවන ලී මැක්නිකොල් සහ හොසේ රිවෙරෝ මෙම බුහුමනට පාත්‍ර වූහ. 

Homes & Gardens Design Awards සම්මාන උළෙල මගින් ගොඩනැගිලි නිර්මාණකරණට අදාළ විශිෂ්ටත්වය ඇගයීමේ අරමුණින් සංවිධානය කරනු ලබන සම්මාන ප්‍රදානයකි. හොඳම ගෝලීය හෝටල් සැලසුම් සම්මානය පිරිනැමීමේදී Sun Siyam Pasikudah හෝටලය සතු උසස් ආගන්තුක සත්කාරශීලිත්වය, කලා නිර්මාණශීලිත්වය සහ පරිසර හිතකාමී බව යන අංශ තුනම සැළකිල්ලට ගෙන තිබුණි.  

කාමර ඒකක 34කින් සමන්විත හෝටලය සිය සුඛෝපභෝගී නව පෙනුම අත්කරගනිමින් 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කිරීමට වැය කරන ලද්දේ මාස 4ක කාලසීමාවක් පමණක් වීම ද කැපීපෙනේ. නවීකරණ ව්‍යාපෘතියේදී සිදුවිය හැකි නාස්තිය අවම කිරීමට පැවති ගෘහභාණ්ඩ ද නවීකරණය කර නැවත භාවිත කළ අතර, දේශීය කලා හැකියාවන් ප්‍රයෝජනය ගනිමින් නව නිර්මාණ ද ඊට එක්කෙරුණි. ඒ අතර අත්යන්ත්‍ර රෙදිපිළි නිර්මාණ, ආලෝකකරණය ආදිය වූ අතර, බට ලී, ලිනන්, ටෙරාකොටා ආදී දේශීය අමුද්‍රව්‍ය භාවිත කෙරුණි. 

″Sun Siyam Pasikudah හෝටලය මෙලෙස ගෝලීය වේදිකාවේදී ඇගයුම් ලැබීම අපට මහත් ගෞරවයක්. මෙම සම්මානය Studio Sixty7 ආයතනයට මෙන්ම ඊට දායක වූ ශ්‍රී ලාංකික කලා නිර්මාණකරුවන්ටත් අයිතියි. ස්වභාවිකත්වය මෙන්ම අනාගතවාදී චින්තනයත් කැටි කරගත් අසමසම සංචාරක අත්දැකීමක් හිමිකරදීමට අප හෝටලයට මෙම නිර්මාණශීලිත්වය තුළින් මඟපෑදී තිබෙනවා″, යනුවෙන් Sun Siyam Pasikudah සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පැවසුවේය. 

සුඛෝපභෝගීත්වය සහ දේශීයත්වය එකට මුසුකිරීමට Studio Sixty7 සතු හැකියාව Sun Siyam Pasikudah හි සැලසුම්කරණයේදී මනාව පිළිබිඹු වී තිබේ. අමුද්‍රව්‍ය සහ වෙනත් ගෘහභාණ්ඩ සහ සැරසිලි විදෙස් රටවලින් ආනයනය කරනු වෙනුවට දේශීය කලාශිල්පීන්ගේ නිර්මාණ කෞශල්‍යය භාවිත කරමින් අතින් නිමකළ සිවිලිම්, ලිනන් තිරරෙදි සහ විදුලි පහන් ආදිය යොදාගෙන තිබේ. නවෝත්පාදනය යනු තාක්ෂණයට වඩා එහා ගිය දෙයක් බව පෙන්නුම් කිරීමට එමගින් හැකිවී තිබේ. 

හෝටලය යළි සැලසුම්කිරීමේදී තිරසරභාවයට ද මුල් තැනක් හිමිවිය. පැරණි ගෘහභාණ්ඩ භාවිතය, දේශීය අමුද්‍රව්‍ය යොදාගැනීම, ආනයන අවම කිරීම, ඉදිකිරීම් සහ ප්‍රවාහනයේදී සිදුවන කාබන් දහනය අවමකිරීම, ස්වභාවික වාතාශ්‍රය භාවිතකිරීම, විවෘත පරිශ්‍ර, බලශක්ති භාවිතය අවමකිරීම ආදී ප්‍රායෝගික භාවිතාවන් රැසක් එහිදී යොදාගැනුණි. සමාජ තිරසරභාවය ද Sun Siyam Pasikudah යළි ඉදිකිරීමේදී දක්නට ලැබුණු තවත් විශේෂ ලක්ෂණයකි. දේශීය කලානිර්මාණ ශිල්පීන් සහභාගී කරවා ගැනීම එහි ප්‍රමුඛ වූ අතර, ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා සම්පාදනය කරමින් ප්‍රාදේශීය ආර්ථික ප්‍රබෝධයකට ද හෝටලය මඟපෑදීය. එමෙන්ම හෝටල් පරිශ්‍රයේ පිහිටි The Edit කලා නිර්මාණ අලෙවිසැල මගින් ද දේශීය නිර්මාණකරුවන්ට අතහිත දීමට හෝටලය පියවර ගෙන තිබේ.


Share with your friend