Uber සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක් වී රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් සහ සෞඛ්‍ය කඳවුරක් පවත්වයි 

Share with your friend

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සමග එක් වී රියදුරන් වෙනුවෙන් ප්‍රථමාධාර පුහුණු වැඩසටහනක් සහ සෞඛ්‍ය කඳවුරක් පැවැත්වීමට පියවර ගෙන තිබේ. මහාමාර්ගයේ ආරක්ෂාව සහ රියදුරන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගත් මෙම වැඩසටහන පසුගියදා කොළඹ නගරයෙන් ආරම්භ විය. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සහභාගී වූ අතර, Uber Sri Lanka සමාගම සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය නියෝජනය කරන ඉහළ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(වමේ සිට: ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මධ්‍යම පාලන මණ්ඩලයේ සාමාජික රුක්ෂ පීරිස්, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ බංගලාදේශය සඳහා Uber සමාගමේ ඉපැයුම්කරු වර්ධන ප්‍රධානී මනිෂ් බින්ද්‍රානි, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ, ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ Uber Sri Lanka මෙරට කළමනාකාරිනී (ප්‍රවාහන සේවා) කෞශල්‍යා ගුණරත්න යන මහත්ම මහත්මීන්)

මෙම වැඩසටහන යටතේ Uber රියදුරන් 500 දෙනෙකු සහ පොදු ප්‍රවාහන සේවා රියදුරන් 250 දෙනෙකු ඇතුළුව රියදුරන් 750 දෙනෙකුට ප්‍රථමාධාර පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබේ. එමගින් ඔවුන්ට මහමගදී එළඹෙන හදිසි අවස්ථාවලට වඩාත් හොඳින් මුහුණ දීමට හැකි වනු ඇත. මීට අමතරව මෙම සෞඛ්‍ය කඳවුරේදී Uber රියදුරන් 1,000 කට නොමිලේ සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකර ගැනීමට අවස්ථාව සලසා දීමටද සලසුම් කර තිබේ. 

“මෙම සෞඛ්‍ය හා සුරක්ෂිතතා වැඩසටහන මගින් පිළිඹිබු වන්නේ, පෞද්ගලික අංශයේ සමාගම්වලට මානුෂීය සංවිධාන සමඟ අත්වැල් බැඳගෙන ජනතාවගේ යහපතට මුල් තැන දෙමින් පොදු ඉලක්කයක් සපුරා ගැනීම සඳහා  එක්ව කටයුතු කළ හැකි බවයි. මේ ආකාරයට රියදුරන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව වෙනුවෙන් ආයෝජනය කරමින් අන් අයටද ඒ සඳහා ආදර්ශයක් ලබාදීම පිළිබඳව මා Uber සමාගමට සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට ස්තූතිවන්ත වනවා.” ගරු ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය. 

“අපගේ මෙහෙයුම්වල ජීවනාලිය වන්නේ අපගේ රියදුරු ප්‍රජාවයි. මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රවාහන පහසුකම් සපයන එම රියදුරු ප්‍රජාව සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාවට නැංවූ සුවිශේෂී වැඩසටහනක් ලෙස හැඳින්වීමට පුළුවන්. රියදුරන් සෑම දිනකම පැය ගණනාවක් මහාමාර්ගයේ ගතකරනවා. ඔවුන් හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය දැන සිටීම අතිශයින් වැදගත්. මෙම වැඩසටහන ඔස්සේ රතු කුරුස සමාජය සමග අත්වැල් බැඳගෙන, හදිසි අවස්ථාවකදී ජීවිත බේරාගැනීමට වැදගත් වන ප්‍රථමාධාර පුහුණුවක් ලබාදීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම මෙය අපගේ රියදුරන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව වෙනුවෙන් අප තැබූ තවත් ඉදිරි පියවරක් ලෙසත් හැඳින්විය හැකියි.” Uber Sri Lanka මෙරට කළමනාකාරිනී (ප්‍රවාහන සේවා) කෞශල්‍යා ගුණරත්න මහත්මිය පැවසුවාය. 

“Uber සමඟ මෙබඳු හවුල්කාරිත්වයක් ඇති කරගැනීම මගින්, වර්තමාන ආර්ථික රටාව තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන පිරිසකට අත්‍යවශ්‍ය ප්‍රථමාධාර දැනුම හා සෞඛ්‍ය සේවා පහසුකම් ලබාදීමට අපට අවස්ථාව උදා වී තිබෙනවා. මෙම හවුල්කාරීත්වය මගින් පිළිබිඹු වන්නේ හදිසි අවස්ථා සඳහා ජනතාව සූදානම් කරවීම, මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා Uber සහ අප දක්වන පොදු කැපවීමයි.” ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පැවසීය. 

Uber සමාගම ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු ආරම්භ කර මේ වන විට වසර 10 ක් ගත වී තිබේ. මේ කාලය පුරාවටම තම රියදුරන්ගේ මෙන්ම සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් විවිධාකාර වූ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට Uber කටයුතු කළේය. 

එමෙන්ම මෙය Uber විසින් ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග පවත්වාගෙන් යනු ලබන හවුල්කාරීත්වයේ තවත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැක. 2022 වසරේදී Uber සමාගම රතු කුරුස සමාජයේ සහයෝගය ඇතිව රට පුරා අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාරපාන බෙදාහැරීමට කටයුතු කළේය. COVID-19 වසංගත තත්වය පැවති කාලය තුළ Uber විසින් ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ට සහ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි ප්‍රජාවන්ට අත්වැලක් වීම සඳහා රතු කුරුස සමාජය වෙත නොමිලේ ගමන් වාර 50,000 ක් පරිත්‍යාග කරන ලදි. 


Share with your friend