නවතම චීස් වර්ග කිහිපයක් සමඟ අඹේවෙල චීස් දැන් නව මුහුණුවරකින්

Share with your friend

මෙරට පාරිභෝගිකයන්ගේ ආදරය දිනාගත් අඹේවෙල චීස් නිෂ්පාදන එකතුව අලංකාර නව ඇසුරුම් පෙළකින් වෙළඳපොළට නිකුත් කිරීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම [Lanka Milk Foods (CWE) PLC] පසුගියදා කටයුතු කළේ ය. ලංකා මිල්ක් ෆුඩ්ස් යනු මෙරට දොරින් දොර කියවෙන නාමයක් වන ‘අඹේවෙල’ සන්නාමය යටතේ උසස්ම ප්‍රමිතියෙන් යුත් නැවුම් කිරි නිෂ්පාදන වෙළඳපොළට රැගෙන එන සමාගමයි.

පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන නිෂ්පාදන හඳුන්වා දීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම සෑම විටම කටයුතු කරයි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් කිරි නිෂ්පාදන මිලදී ගැනීමට මෙරට පාරිභෝගිකයන්ටත් ව්‍යාපාරවලටත් අවස්ථාව සලසා දීම එම සමාගමේ ප්‍රධානතම ඉලක්කයකි. මෙම ඉලක්කයට සමගාමීව, වර්තමාන පාරිභෝගිකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන අලංකාර නව ඇසුරුම් පෙළකින් අඹේවෙල චීස් දැන් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මෙලෙස නැවුම් පෙනුමකින් යුත් Edam, Gouda, Parmesan, Processed, Mozzarella, Paneer සහ Spread Cheese යන චීස් වර්ග 7 දැන් චීස් බ්ලොක්ස්, පෙති සහ තැවරුම් වශයෙන් මිලදීගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වී ඇත.

මීට අමතරව ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගම අඹේවෙල සන්නාමය යටතේ නව චීස් වර්ග එකතුවක්ද වෙළඳපොළට හඳුන්වා දී තිබේ. මේ අතරින් අඹේවෙල නවසීලන්ත ගොවිපළේ නිෂ්පාදනයක් වන Processed චීස් (ග්‍රෑම් 200) නිපදවනු ලබන්නේ Cottage Cheese නිපදවන සාම්ප්‍රදායික ක්‍රම භාවිතයෙනි. ඒ නිසා එය අතිශයින් ප්‍රණීත චීස් වර්ගයක් බවට පත් වී ඇත. එමෙන්ම තවත් ජනප්‍රිය චීස් වර්ගයක් වන Gouda ball චීස් ගම්මිරිස්, සූදුරු, මිරිස් සහ සුදුලූනු රස එක්කළ නිෂ්පාදනයක් ලෙසින් මෙන්ම රස නොගැන්වූ නිෂ්පාදනයක් ලෙසින්ද වෙළඳපොළට පැමිණේ.

“අප කවදත් උත්සාහ කරන්නේ උසස් තත්වයේ කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ දියුණුවට අත්වැලක් වීමටයි. නවෝත්පාදනයට මුල් තැන දෙමින් රටේ කිරි ඉල්ලුම සපුරලාන අතරම, ආනයනිත කිරි නිෂ්පාදන මත රඳා පැවතීමේ අවශ්‍යතාව අවම කිරීම අපගේ ප්‍රධානතම ඉලක්කයක්. අඹේවෙල චීස් එකතුව නව පෙනුමකින් හඳුන්වා දීම මෙන්ම නව චීස් වර්ග කිහිපයක් වෙළඳපොළට හඳුන්වා දීමත් එම උත්සාහයේම ප්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැකියි. මේ චීස් වර්ග සමගින් දැන් මෙරට පාරිභෝගිකයන්ට දේශීයව නිෂ්පාදනය කරන ලද ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් චීස් එකතුවක් සිත් සේ රසබැලීමට පුළුවන්. පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාව කුමක් වුවත්, එම අවශ්‍යතාව සපුරාලන චීස් වර්ග අප සතුව තිබෙන බව අප විශ්වාස කරනවා.” ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සසංක පෙරේරා මහතා පැවසී ය.  

අඹේවෙල සහ පට්ටිපොළ යන ප්‍රදේශවල පිහිටා ඇති අඹේවෙල ගොවිපොළවල නිපදවන කිරි නිෂ්පාදන සඳහා භාවිතා කරනු ලබන්නේ ඉතාමත් හිතකර පරිසරයන් තුළ ජීවත් වන එළදෙනුන්ගෙන් ලබාගත් උසස්ම ප්‍රමිතියෙන් යුත් නැවුම් එළකිරි පමණි. මෙම කිරි නිෂ්පාදන පාරිභෝගිකයන්ට ඉහළම රසයක් හා පෝෂණයක් ලැබෙන පරිදි පිරිසිදුව හා උසස්ම ප්‍රමිතියෙන් යුතුව නිපදවනු ලැබේ. ගොවිපළෙන් කිරි ලබාගැනීමේ සිට නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරක්ම ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමේ සුපරීක්ෂාවට ලක් වේ. මෙම සමස්ත ක්‍රියාදාමය සඳහා නවීනතම තාක්ෂණය සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන බැවින් සෑම විටම තම නිෂ්පාදනවල උසස් ප්‍රමිතිය, නැවුම් බව, පෝෂණය, සුරක්ෂිත බව හා රසය සහතික කිරීමට ලංකා මිල්ක් ෆුඩ්ස් සමාගමට හැකි වී ඇත.


Share with your friend