ප්‍රයිම් සමුහයේ අද්විතීය නිමැවුම  The Grand Ward Place උත්සවාකාරයෙන් විවෘත කරයි.

Share with your friend

ශ්‍රී ලාංකීය  දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට   සුවිශේෂී ජයග්‍රහණයක්

ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විශිෂ්ඨතම ව්‍යාපෘතිය වන අධි සුඛෝපභෝගී ‘The Grand Ward Place’ හි ඉදිකිරීම් අවසන් කර විවෘත කිරීම පසුගිය මැයි 15 වන දින උත්සවාකාරයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවට ප්‍රයිම් සමූහයේ ප්‍රමුඛතම ගැනුම්කරුවන් සහ ව්‍යාපෘති හවුල්කරුවන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ. කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි වැඩිම උසකින් යුත් එකම සුඛෝපභෝගී මහල් නිවාස ගොඩනැගිල්ල වන මෙය, නවීනතම ගෘහ නිර්මාණ සැලසුම්වලට අනුකූලව ඉදි කර ඇති අතර, සුඛෝපභෝගී ජීවන රටාවන්ට ගැළපෙන අතිනවීන පහසුකම් රැසකින් සමන්විත ය. 

ව්‍යාපෘතිය සම්පූර්ණ වීමට අමතරව අනුකූලතා සහතිකය, CMA ලියාපදිංචි සහතිකය සහ සහාධිපත්‍ය හිමිකම් ඔප්පුව යන නෛතික ලේඛන හිමිකරගැනීමද සැමරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි. මෙමගින්, පදිංචිකරුවන් වෙත යතුරු භාරදුන් වහාම ඔවුන්ට අදාල ඔප්පුව තම නමට පවරාගත හැකි වන අතර, රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දෙන අභියෝග දෙස බලන විට මෙය සුවිශේෂී ජයග්‍රහණයකි. 

2019 වසරේදී ‘Property Guru Property Awards in Asia’ මගින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණය ලෙස නම්කරන ලද The Grand Ward Place, පදිංචිකරුවන්ගේ සුවපහසුව වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ පහසුකම් රාශියක් පිරිනමයි. ලොව පිළිගත් අති සුඛෝපභෝගී දැවැන්ත සන්නාමයන් යටතේ නිපද වූ නවීනතම අංගෝපාංගයන් ගෙන් The Grand සමන්විත වන අතර, නවීන ලෝකයේ පවුල්වල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් සෑම නිවසක් සඳහාම රථගාල තුළ වාහන දෙකක් නවත්වා තැබිය හැකි  පහසුකමද  සලසා ඇත. 

ශ්‍රී ලංකාවේ දිගම ‘Elevated Infinity’ පිහිනුම් තටාකයද The Grand Ward Place හි පිහිටා ඇති අතර, එහි දිග මීටර් 71 කි. එමෙන්ම මෙහි මහල් තුනක් (වර්ග අඩි 50,000 කට වැඩි ප්‍රමාණයක්) නවීනතම පහසුකම් සහිතව විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා වෙන්කර ඇති අතර, එය මෙරට මහල් නිවාස ව්‍යාපෘතියක එබඳු ක්‍රියාකාරකම් සඳහා වෙන්කරන ලද වැඩිම ඉඩ ප්‍රමාණය ලෙස සැලකේ. පිහිනුම් තටාක තුනක්, ක්‍රීඩා කිරීමේ අවකාශයන්, බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයක් උත්සව ශාලාවක්,  ඇවිදීමේ මංතීරු, යෝග ව්‍යායාම් කිරීමට ස්ථානයක්, සම්බාහන මධ්‍යස්ථානයක්, සහ ‘Mini Mart’ වර්ගයේ අලෙවිසැලක්ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් ය. 

“The Grand Ward Place  උත්කර්ෂවත් ලෙස  විවෘත කිරීමට ලැබීම මට මහත් සතුටක්. මෙය කොළඹ නගරයේ සුඛෝපභෝගී නිවාස සම්ප්‍රදායේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වේවි. ජාත්‍යන්තරව පිළිගත් සුඛෝපභෝගී සන්නාම හා සැසඳිය හැකි ගුණාත්මක භාවයන් හා ප්‍රමිතීන් පවත්වා ගනිමින් මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට අපට හැකි වුණා. එය පාස්කු ප්‍රහාරය, COVID-19 රෝග ව්‍යාප්තිය සහ ආර්ථික අර්බුදය වැනි දැවැන්ත අභියෝගවලට මුහුණදීමට සහ ඒවා ජයගැනීමට ප්‍රයිම් සමූහයට ඇති හැකියාව පෙන්නුම් කිරීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. අප ලද මේ විශිෂ්ට ජයග්‍රහණය, පාරිභෝගිකයන් වෙත අනර්ගත්වයෙන් සපිරි සුවපහසු නිවසක් ලබා දීමට අප තුල ඇති මහඟු කැපවීම පමණක් නොව  අපගේ සේවාදායකයන් අප කෙරෙහි රඳවා ඇති විශ්වාසය සහ අපගේ හවුල්කරුවන් නිරන්තරයෙන් අප වෙත ලබාදෙන සහයෝගය විදහා දක්වන මනා සාක්ෂියක් ලෙසත් හැඳින්විය හැකියි.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා පැවසී ය. 

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහය, මෙම දැවැන්ත ව්‍යාපෘතිය සාර්ථක ලෙස නිමකිරීම සඳහා මෙරට ජනප්‍රිය සන්නාම රැසක් සමග අත්වැල් බැඳගත්තේ ය. එම හවුල්කාරීත්වය අතිශයින් සාර්ථක වී ඇති බවට, ගෘහනිර්මාණාත්මක විස්මයක් බඳු මෙම විශිෂ්ට ව්‍යාපෘතිය සාක්ෂි දරයි. එමෙන්ම එය ශ්‍රී ලාංකික ඉදිකිරීම් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස දශක ගණනාවක් පුරා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වනු ඇත. 

“ආරම්භයේ සිටම සියලුම නීතිරීති හා රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ නිසා, පදිංචිකරුවන්ට යතුරු භාරදෙන අවස්ථාවේදීම නිරවුල් ඔප්පු ඔවුන් අතට පත්කිරීමට අපට හැකි වී තිබෙනවා. The Grand Ward Place යනු ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ විශාලතම ආයෝජනයයි. එමෙන්ම එය මෙරට ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගම වශයෙන් මෙන්ම ජාත්‍යන්තර සුඛෝපභෝගී නිවාස ඉදිකිරීම් සමාගම් සමග සංසන්දනය කළ හැකි මට්ටමේ සමාගමක් වශයෙන් අප අත්කරගෙන තිබෙන සාර්ථකත්වය නැවත වරක් තහවුරු කරන සාධකයක්ද වනවා.” ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.  

ක්ෂේත්‍රයේ වසර 27 ක අත්දැකීම් සමගින් කැපවීම, ප්‍රමිතිය සහ විශ්වාසය සම්බන්ධයෙන් ඉහළම තලයේ පිළිගැනීමක් හිමිකර ගැනීමට ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ සුඛෝපභෝගී නිවාස එකතුව බවට පත්කිරීමේ අරමුණින් ඉදිකළ The Grand Ward Place, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරන ව්‍යාපෘතියක් වනු නොඅනුමාන ය. 

01 – ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය උත්සවාකාරයෙන් ‘The Grand Ward Place’ විවෘත කරන අවස්ථව

02 – ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සමූහ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා සහ ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සම-සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය  


Share with your friend