සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් සහ පොල් ලෙලි ආශ්රිත නිර්පාංශු වගා මාධ්‍ය නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන RIOCOCO සමාගම 2024 ඔක්තෝබර් 11 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර ඉන්ටෙර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්වුණු 21 වැනි Stevie Awards (International Business Awards) සම්මාන උළෙලේදී සම්මාන රැසක් දිනා ගත්තේය. මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වන එම සමාගම නව්‍යකරණයට සහ තිරසාරභාවයට දක්වන කැපවීම යළි තහවුරු කරමින් Stevie සම්මාන හයකින් පිදුම් ලැබුවේය. මෙම සුවිශේෂ ජයග්‍රහණය තුළින් ජාත්‍යන්තර වේදිකාවේ ශ්‍රී ලංකාවට හිමි ස්ථානය සහ තිරසාර ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය සඳහා මෙරට සතු හැකියාව පිළිබිඹු කරයි. තිරසාර වගා මාධ්‍ය සහ කෘෂිකාර්මික ක්ෂේත්රයේ ශ්‍රී ලාංකික සමාගමක් ජාත්‍යන්තර වශයෙන් මෙවැනි විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.
RIOCOCO සමාගමේ මව් සමාගම වන Ceyhinz Link International Inc. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශාන් හළඹ මහතා වසරේ විධායක නිලධාරියා (නිෂ්පාදන ක්ෂේත්රය) සඳහා වන Stevie රිදී සම්මානය දිනා ගත්තේය. පසුගිය වසර 20ක කාලය තුළ ඔහුගේ නායකත්වය යටතේ ගෝලීය වශයෙන් සිය ව්‍යාපාරය ව්‍යාප්ත කර ඇති RIOCOCO සමාගම වර්තමානයේදී රටවල් 65කට පමණ සේවා සපයයි.
ඊට අමතරව, තිරසාර බව සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා RIOCOCO සමාගම සතු කැපවීමද කළාප කිහිපයක් යටතේ ඇගැයීමට ලක් විය. කැනඩාව සහ අමෙරිකා එක්සත් ජනපදයට අදාළව Stevie රන් සම්මානයක්, ආසියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයට අදාළව තවත් Stevie රන් සම්මානයක්, යුරෝපයට අදාළව රිදී සම්මානයක් සහ මැද පෙරදිග හා අප්‍රිකාවට අදාළව ලෝකඩ සම්මානයක් ඊට ඇතුළත් වේ. RIOCOCO සමාගමේ නිෂ්පාදන සංවර්ධන කණ්ඩායම වසරේ නිෂ්පාදන සංවර්ධන / කළමනාකරණ කණ්ඩායම ලෙස Stevie රන් සම්මානය දිනා ගත්තේය.
ව්‍යාපාර ලෝකයේ ‘ඔස්කාර් සම්මාන උළෙල’ ලෙසද හැඳින්වෙන Stevie සම්මාන උළෙල ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාව ඇගැයීම සඳහා වන විශාලම සම්මාන උළෙල වේ. සමාගම් සහ වෘත්තිකයන් ගෝලීය වශයෙන් ව්‍යාපාර ක්ෂේත්රයේ උන්නතිය උදෙසා දක්වා ඇති දායකත්වය ඇගැයීමේ අරමුණෙන් 2002 වසරේදී ආරම්භ කළ එම සම්මාන උළෙල ව්‍යාපාර ක්ෂේත්‍ර රැසකට අදාළ වන පරිදි සම්මාන පිරිනමයි. වැඩසටහන් නවයක් යටතේ විශිෂ්ට ව්‍යාපාර කුසලතා ඇගැයීමට ලක් කරන එම සම්මාන උළෙලට වාර්ෂිකව ලැබෙන අයැදුම්පත් ප්‍රමාණය 12,000කට අධික වේ. ලොව වඩාත් පිළිගත් විධායක නිලධාරීහු, ව්‍යවසායකයෝ, නව නිපැයුම්කරුවෝ සහ ව්‍යාපාර අධ්‍යාපනවේදීහු එහි විනිසුරු මඬුල්ල නියෝජනය කරති. පොල් ලෙල්ල ආශ්රිත වගා මාධ්‍ය නිපදවන ලෝකයේ පොල් නිෂ්පාදනය කරන රටවල් වන ඉන්දියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ජාවා ආදී රටවල් සියල්ල අභිබවා තවත් විවිධ රටවල් නියෝජනය කළ ජාත්‍යන්තර ව්‍යාපාර 42ක් පමණ තරග කළ 2024 ස්ටීව් සම්මාන උළෙලේදී ඉහත කී සම්මාන දිනා ගැනීමට ශ්‍රී ලාංකික සමාගමක් ලෙස RIOCOCO සමාගමට හැකි වීම විශිෂ්ට සිද්ධියකි.
“International Business Awards සම්මාන උළෙලේදී ඇගැයීමට ලක් වීම අපට විශාල ආඩම්බරයක් සහ ගෞරවයක්. මේ ජයග්‍රහණය තුළින් පිළිබිඹු වන්නේ එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සේවය කරන අපගේ කණ්ඩායමේ කැපවීම. අපගේ දැක්ම වන නව්‍යකරණය සහ තිරසාරභාවය සමඟ ක්ෂේත්රයේ ප්‍රමුඛයා වීම මේ ආකාරයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට ලක් වීම අපට විශාල ආඩම්බරයක් ගෙන දෙනවා.” ප්‍රධාන විධායක නිලධාරී ශාන් හළඹ මහතා සඳහන් කළේය.
RIOCOCO සමාගමේ ප්‍රධාන කාර්යාලය කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ පිහිටා ඇත. පොළොවේ වැවෙන බෝග හරිතාගාර තුළ වගා කිරීමේදී මතු වන සුවිශේෂ අභියෝගය වූයේ නිර්පාංශු වගා මාධ්‍යයක අවශ්‍යතාවයි. මේ සඳහා RIOCOCO සමාගම අප රටේ ඉවත ලන පොල් ලෙල්ල ආශ්රයෙන් නව පර්යේෂණ හා වර්ධිත සොයා ගැනීම් ඔස්සේ නිපදවූ 100%ක් කාබනික වගා මාධ්‍යය ගුණාත්මකව පාරිභෝගික අවශ්‍යතාව පදනම් කර ගෙන යාවත්කාලීන කෘෂිකර්මාන්තයේ ඉදිරි පියවරක් ලෙස වසර 20කට පෙර ලෝකයට හඳුන්වා දුන් අතර එයින් හරිතාගාර තුළ විවිධ ක්‍රමවේද ඔස්සේ තාක්ෂණය හා පර්යේෂණ මගින් අධි අස්වනු ශීඝ්‍රයෙන් ලැබී තිබිණි.
RIOCOCO සන්නාමය යටතේ නිපදවනු ලැබූ පොල් ලෙලි ආශ්රිත වගා මාධ්‍ය විශේෂ විවිධ දිශානති ඔස්සේ පර්යේෂණවලට ලක් කරමින් හරිතාගාර තුළ වගාවලින් උපරිම ඵලදාවක් ලැබෙන සේ වගා මාධ්‍ය නිර්මාණය කිරීමට RIOCOCO සමාගම සමත් වූ අතර මේ නිසා පොල් ලෙලි ආශ්රිත නිර්පාංශු වගා මාධ්‍යයේ ලොව අංක එකේ සන්නාමය බවට පත් වීමට RIOCOCO සමත් වී තිබේ.