සම්පත් බැංකුව 44% ක වර්ධන වේගයක් සහිතව තුන්වන කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන

Share with your friend

17.8 ක බදු පසු ලාභයක් වාර්තා කරයි

සම්පත් බැංකුව 2024 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා පිළිවෙලින් 36% ක හා 44% ක වර්ධන වේගයන් සහිතව රුපියල් බිලියන 29.9 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 17.8 ක බදු පසු ලාභයක්ද වාර්තා කිරීමට සමත් විය. මෙම ලාභයන් වාර්තා කරනු ලැබූයේ රුපියල අතිප්‍රමාණය වීම හේතුවෙන් වාර්තා වූ රුපියල් බිලියන 3.6 ක විනිමය අලාභය ද සැලකීමෙන් පසුවය. සම්පත් සමූහය ද ඉහත කාලපරිච්ඡේදය සඳහා රුපියල් බිලියන 31.9 ක බදු පෙර ලාභයක්ද, රුපියල් බිලියන 19.1 ක බදු පසු ලාභයක් ද වාර්තා කරන ලද අතර මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී පිළිවෙළින් 40% ක හා 50% ක වර්ධනයකි.

2024 වසරේ සැප්තැම්බර් 30 වන දිනට වාර්තා වූ විශේෂ මුල්‍ය ප්‍රතිඵල

  • ශුද්ධ පොළී ආදායම 14.1% කින් ඉහළ යාම
  • වෙළඳාම් ආශ්‍රිත ආදායම් පහත වැටීම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 11.4% කින්       පහත වැටීම
  • ඇ.ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල‚ රුපියල් 27.75 කින් අතිප්‍රමාණය වීම හේතුවෙන් රුපියල් බිලියන 3.6 ක විනිමය අලාභයක් වාර්තා වීම
  • අපහායන අයකිරීම් 62.6% කින් පහත වැටීම
  • දේශීය මුදලින් අගය කරනු ලබන ණය කළඹ රුපියල් බිලියන 38 කින් ඉහළ යාම
  • දේශීය මුදල් තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 140 කින් ශක්තිමත් ලෙස ඉහළ යාම
  • පළමු පෙළ හා මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයන් පිළිවෙළින් 16.72% ක් හා 19.54% ක් ලෙස අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම.

2024 වසරේ මුල් මාස නවය සඳහා බැංකුව රුපියල් බිලියන 139 ක මුළු පොළී ආදායමක් වාර්තා කරන ලද අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 9.6% ක පහත වැටීමකි. මේ සඳහා කාලපරිච්ඡේදය තුළදී සාමාන්‍යය බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතයෙහි (AWPLR) සිදු වූ පහත වැටීම හේතු විය. වෙළඳපොළ පොළී අනුපාතයන් අඛණ්ඩව පහත වැටීමට සමගාමීව පොළී වියදම ද 22.2% කින් පහත වැටීම සිදු වූ අතර එය රුපියල් බිලියන 78 ක් ලෙස වාර්තා විය. පොළී ආදායම අඩුවීම අභිබවා පොළී වියදම අඩුවීම හේතුවෙන් ශුද්ධ පොළී ආදායම 14.1% ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 61 ක් ලෙස වාර්තා විය. තවද බැංකුවේ ශුද්ධ පොළී ආන්තිකය 2023 වසරේ දෙසැම්බර් 31 දිනට වාර්තා වූ 5.16% සිට පදනම් ලකුණු 15 ක පහත වැටීමක් සහිතව වාර්තා කරනු ලබන දිනට 5.01% ක් ලෙස වාර්තා විය.

2024 වසරේ තුන්වන කාර්තුව අවසානය වනවිට ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 11% ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 13 ක් ලෙස වාර්තා වූ අතර, මීට මූලිකවම වෙළඳාම් ආශ්‍රිත කොමිස් අනුපාතයන් පහළ දැමීම හා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අතිප්‍රමාණය වීම යනාදී කරුණු හේතු විය. කෙසේ වෙතත් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී ණය, විද්‍යුත් නාලිකා, කාඩ්පත් හා ප්‍රේෂණ ආශ්‍රිත ආදායම්හි වර්ධනයක් පෙන්නුම් කරන ලදී.

2024 සැප්තැම්බර් 30 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා බැංකුව රුපියල් බිලියන 5.4 ක අපහායන අයකිරීමක් හඳුනා ගන්නා ලද අතර, මෙය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 63% ක පහත වැටීමකි. ඉහත අපහායන අයකිරීම් ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 3.1 ක් ද, (2023 තුන්වන කාර්තුවට රුපියල් බිලියන 12.5) වෙනත් මුල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 1.2ක් ද, (2023 තුන්වන කාර්තුවට රුපියල් බිලියන 1.8) අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 1.1 කින් ද, (2023 තුන්වන කාර්තුවට රුපියල් බිලියන 0.2) සමන්විත විය. ණය හා අත්තිකාරම් සඳහා අපහායන අයකිරීම් 75% කින් පමණ අඩු වූ අතර මේ සඳහා පෙර වසරවලදී භාවිත කරන ලද විචක්ෂණශීලි ප්‍රතිපාදන ප්‍රතිපත්තිය හා ආර්ථිකයේ ඇති වූ පුනර්ජීවනය හේතුවෙන් ගනුදෙනුකරුවන්ගේ ණය නැවත ගෙවීමේ හැකියාව ඉහළ යාම ආදිය මූලිකවම හේතු විය. තවද සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා හඳුනා ගන්නා ලද අතිරේක අපහායන ප්‍රතිපාදන හේතුවෙන් වෙනත් මුල්‍ය උපකරණ සඳහා රුපියල් බිලියන 1.2 ක ශුද්ධ අපහායන අයකිරීමක් හඳුනා ගන්නා ලදී.

2024 වසරේ තුන්වන කාර්තුව අවසානය වනවිට බැංකුවේ මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 15.5% කින් ඉහළ යන ලද අතර, මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හේතුවෙන් ඉහළ ගිය පුද්ගල පිරිවැය මූලික වශයෙන් හේතු විය. මීට අමතරව බැංකුවේ සඵල බදු අනුපාතය 2023 වසරේ අනුරූප කාලපරිච්ඡේදය සඳහා පැවති 57.1% සිට 54% ක් දක්වා පහත වැටිණ. බැංකුවේ සාමාන්‍යය කොටස් හිමි ප්‍රාග්ධනය මත ඉපැයුම් (බදු පසු) 2023 වසර අවසානයේ පැවති 12.7% සිට 2024 සැප්තැම්බර් 30 දින වන විට 15.7% ක් දක්වා ඉහළ යන ලද අතර, සාමාන්‍යය වත්කම් මත ඉපැයුම් (බදු පෙර) 2023 වසර අවසානයේ වාර්තා වූ 2.1%ට සාපේක්ෂව 2024 සැප්තැම්බර් 30 වන දින වන විට 2.5% ක් දක්වා ඉහළ යන ලදී.

සලකනු ලබන කාලපරිච්ඡේදය පුරාවට සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2023 වසර අවසානයේ දී පළමු පෙළ සාමාන්‍යය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාතයන් පිළිවෙලින් 16.35%‚ 16.35% හා 19.56% ක් ලෙස වාර්තා වූ අතර 2024 සැප්තැම්බර් 30 වන දින වන විට එම අනුපාතයන් පිළිවෙළින් 16.72%, 16.72% ක් හා 19.54% ක් ලෙස වාර්තා කරන ලදී.

එමෙන්ම බැංකුවේ ද්‍රවශීලතා මට්ටම අවම නියාමන අවශ්‍යතාවන්ට වඩා සැලකිය යුතු ඉහළ මට්ටමක පැවතුණු අතර, සියලුම මුල්‍ය ඒකක සඳහා ද්‍රවශීලතා ආවරණ අනුපාතය 303.25% ක් ලෙස ද, ශුද්ධ ස්ථාවර මුල්‍යන අනුපාතය 198.60% ක් ලෙස ද වාර්තා විය. මෙම අනුපාතයන් 2023 වසර අවසානයේ දී පිළිවෙළින් 312.47% ක් හා 184.20% ක් ලෙස වාර්තා විය.

සම්පත් බැංකුව සතු මුළු වත්කම් 12.3% ක වාර්ෂික වර්ධනයක් සහිතව 2024 වසරේ සැප්තැම්බර් 30 දින වන විට රුපියල් ට්‍රිලියන 1.68 ක් ලෙස වාර්තා වූ අතර රජ‌යේ ණය සුරැකුම්පත්වල කරන ලද ආයෝජනයන් හා ණය කළඹේ වර්ධනය මේ සඳහා මූලික වශයෙන් හේතු විය. බැංකුවේ මුළු තැන්පතු කළඹ රුපියල් බිලියන 129 කින් ඉහළ යාම හේතුවෙන් බැංකුවේ මුළු වගකීම් වල ද 12.8% ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරන ලදී.


Share with your friend