සෙලාන් බැංකුව අඛණ්ඩව සිවුවැනි වරටත් LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේ අංක එක ස්ථානය හිමිකරගනී 

Share with your friend

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති LMD පාරිභෝගික විශිෂ්ටත්ව සමීක්ෂණයේදී අඛණ්ඩව සිවුවැනි වරටත් අංක එක ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. 

මෙම ජයග්‍රහණය, වසර 34 ක ඉතිහාසය පුරා සෙලාන් බැංකුව නිරන්තරයෙන් පවත්වාගත් පාරිභෝගික සේවා විශිෂ්ටත්වය තවමත් එලෙසින්ම පවතින බවට මනා සාක්ෂියකි. මෙම කාලය තුළ, ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ යන තේමාවට අනුව, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව හඳුනා ගනිමින්, එම අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍යමය විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් පියවර ගෙන තිබේ. 

“ගනුදෙනුකරුවන්ට ලබාදෙන ප්‍රධාන සේවාවන් බොහෝ දුරට එක සමාන වන ක්ෂේත්‍රයක් තුළ, ඒවා ලබාදෙන ආයතන වල විශේෂත්වයන් රඳා පවතින්නේ  පාරිභෝගික සේවාව මතයි. ගනුදෙනුකරුවන්ට ප්‍රමුඛත්වය ලබාදීම යනු සෙලාන් බැංකුවේ අනිවාර්ය ගුණාංගයක් මෙන්ම, එහි  කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙකුම අනුගමනය කරන මූලධර්මයක්. ඒ වෙනුවෙන් අඛණ්ඩව වසර 4 ක් තිස්සේ මේ ආකාරයෙන් ඇගයීමට ලක්වීමට හැකි වීම අපට මහත් සතුටක්,” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා පැවසී ය. 

පාරිභෝගික සේවාවේ ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා පමණක් නොව, විවිධ වැඩසටහන් ඔස්සේ පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය කිරීම සඳහාද සෙලාන් බැංකුව දැඩි අවධානයක් යොමුකර ඇත. පාරිභෝගික අත්දැකීම් ක්‍රියාවලියේ සෑම පියවරක්ම සමීපව නිරීක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම මගින්, දීර්ඝකාලීනව පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට බැංකුවට හැකියාව ලැබී තිබේ. 

සෙලාන් බැංකුවේ පාරිභෝගික සේවාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා වෙනම පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ කණ්ඩායමක් නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින අතර, ඒ වෙනුවෙන් ඔවුන් විවිධාකාර වූ ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත. සමීක්ෂණ සිදුකිරීම, තරගකාරී ආයතන සංසන්දනාත්මකව විශ්ලේෂණයට ලක්කිරීම සහ අභ්‍යන්තර විගණනයක් සිදුකිරීම ඇතුළුව විධික්‍රම රාශියක් ඔස්සේ තම පාරිභෝගික සේවාවේ ගුණාත්මකභාවය ඉහළම මට්ටමින් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ.  

හුදෙක් ව්‍යාපාරික අරමුණු වලට සීමා නොවී, ඉහළම තලයේ පාරිභෝගික සේවාවක් සමගින් ගනුදෙනුකරුවන්ට වඩාත්ම වැදගත් වන විසඳුම් හඳුන්වා දීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි. මෙම ප්‍රවේශය තුළින්, පවතින අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබමින්, තමන්ගේ මෙන්ම සමස්තයක් ලෙස රටේ ආර්ථිකයේ දියුණුවට බලපාන තීරණ ඔස්සේ ඉදිරියට යාම සෙලාන් බැංකුවේ කළමනාකාරීත්වයේ අරමුණ වී තිබේ. 

රටේ ප්‍රධානතම සන්නාම සේවා සමීක්ෂණවලින් එකක් වන LMD මාර්ගගත (online) පාරිභෝගික විශිෂ්ටතා සමීක්ෂණය 2022 ජූලි 15 සිට 2022 සැප්තැම්බර් 15 දක්වා පැවැත්වුණු අතර, ඊට ප්‍රතිචාර 2,800 කට අධික ප්‍රමාණයක් ලැබී තිබිණි. මෙම සමීක්ෂණය මගින් සේවා කාණ්ඩ 22 ක් ආවරණය කරන ලද අතර, එම කාණ්ඩ වලට අදාළව තම ප්‍රියතම සමාගම හෝ ආයතනය නම් කරන ලෙස ඊට දායක වූවන්ගෙන් ඉල්ලා සිටින ලදි. මෙහි ප්‍රතිඵල අනුව, වැඩිම මනාප ලැබූ සමාගම් හා ආයතන 20 ලැයිස්තුව එම අනුපිළිවෙළට ප්‍රකාශයට පත්කෙරිණි. 

සෙලාන් බැංකුව පිළිබඳව 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply