ආහාර තාක්ෂණික සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන Sysco LABS, ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සමරයි

Share with your friend

ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය, ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්, Sysco හි ගෝලීය තාක්ෂණ නායකත්ව කණ්ඩායම, Sysco LABS නායකත්ව කණ්ඩායම සහ ජනමාධ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Sysco හි විධායක උප සභාපති සහ ප්‍රධාන තොරතුරු හා ඩිජිටල් නිලධාරී ටොම් පෙක් මහතා, සමාගමේ විශාලත්වය මෙන්ම, සමාගමේ වර්තමානය සහ අනාගතය තුළ තාක්ෂණය විසින් ඉටුකරනු ලබන කේන්ද්‍රීය භූමිකාව පිළිබඳව විස්තර කළේ ය. “කාර්යමණ්ඩල සාමාජික සාමාජිකාවන් 72,000 ක් සහ ලොව පුරා පාරිභෝගික සේවා ස්ථාන 725,000 ක් සහිත Sysco සමාගමේ මෙහෙයුම් කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාම සඳහා දැවැන්ත තාක්ෂණික ක්‍රියාවලියක් අවශ්‍යයි. ගෝලීය වෙළඳපොළ ප්‍රමුඛයා වශයෙන් Sysco කවදත් නවෝත්පාදනයට සහ නවීන තාක්ෂණයන්ට මුල්තැන දෙයි. ශ්‍රී ලංකාවේ කණ්ඩායම වෙතින් අපට තරගකාරීත්ව වාසියක් ලැබෙන්නේ මේ පසුබිම තුළයි.” 

Sysco සමාගමේ වර්ධන සැලැස්මේ මූලික අංගයක් වශයෙන්, Sysco හි ගෝලීය ප්‍රගතිය සහ එහි සමස්ත ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා Sysco LABS වෙතින් ඉටුවන මෙහෙවර පිළිබඳවද ටොම් පෙක් මහතා මෙහිදී විස්තර කළේ ය. “නවීන තාක්ෂණය ඔස්සේ තිරසාර වර්ධනයක් ළඟා කරගන්නා අතරම ක්ෂේත්‍රයේ දියුණුව තුළ ඉදිරියෙන්ම සිටිමින් පාරිභෝගිකයන්ට විශිෂ්ටතම සේවාවක් පිරිනැමීම අපගේ අරමුණයි.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය. 

ලොව ආහාර සේවා කර්මාන්තය පෙරළියකට ලක්කිරීම සඳහා ශ්‍රී ලාංකික වෘත්තිකයන්ගේ දායකත්වය ලබාගත හැකි බව වටහා ගැනීමෙන් අනතුරුව 2013 වසරේදී Sysco LABS ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලදි. 2017 වසරේදී Sysco විසින් එය පූර්ණ වශයෙන් පවරා ගන්නා ලද අතර, මේ වනවිට එය Sysco සමාගමේ විශාලතම Global In-House Center බවට පත් වී තිබේ. 

“Sysco LABS Sri Lanka යනු Sysco හි දෛනික මෙහෙයුම් තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරන තැනක්. එමෙන්ම එය සමාගමේ ගෝලීය ව්‍යාප්තිය උදෙසාද මහඟු දායකත්වයක් දක්වනවා. අපගේ පද්ධති පිළිබඳව ඉතා හොඳ දැනීමක් මෙහි කාර්ය මණ්ඩලය සතුයි. ඔවුන් ලොවපුරා විසිරී සිටින අපගේ අනෙකුත් කණ්ඩායම් සමග සමීපව කටයුතු කරමින්, Sysco සමාගමට තම පාරිභෝගිකයන්ට සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය විසඳුම් නිර්මාණය කිරීම අඛණ්ඩව සිදුකරනවා. Sysco LABS ශ්‍රී ලංකාවේ තාක්ෂණ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සක්‍රීය සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින්, සිය දැනුම ඔස්සේ රටේ තොරතුරු තාක්ෂණ අංශයේ උන්නතියට දායක වීමත්, එහි කුසලතා දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීමත්, තරුණ ඉංජිනේරුවන්ගේ වෘත්තීය සුභසිද්ධිය ඉලක්ක කරගත් Project Summit වැනි වැඩසටහන් ආරම්භ කර තිබීමත් අපට මහත් සතුටක්.” Sysco සමාගමේ උප සභාපති සහ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී (ඇමරිකා) මෙන්ම එහි Global In-House Centers හි ප්‍රධානී ලෙස කටයුතු කරන ලීස් මොනහන් මහත්මිය පැවසුවා ය. 

පසුගිය වසර 10 ක කාලය තුළ Sysco LABS සමාගම Sysco වෙත සපයන විසඳුම් සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහි කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් පුළුල් වී ඇති අතර, පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයක් සහ Sysco හි ඉ-වාණිජ පදනම් සහ මෙහෙයුම් සම්බන්ධ ඒකක කිහිපයක්ද ස්ථාපිත කර ඇත. එමෙන්ම මෙම ප්‍රයත්නයන්හි නවතම පියවර වශයෙන් මෑතකදී සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානයක්ද ආරම්භ කරන ලදි.  

“සාමාජික සාමාජිකාවන් 100 දෙනෙකුගේ සිට 1000 කට ආසන්න පිරිසක් දක්වා අපගේ කණ්ඩායම වර්ධනය වීම, නිරන්තරයෙන් නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය හඹා යාමට අප දරන උත්සාහයට මනා සාක්ෂියක්. ප්‍රධාන වශයෙන් තාක්ෂණ නිෂ්පාදන සමාගමක සිට අප මේ වනවිට ව්‍යාපාරික මට්ටමින් ක්ෂේත්‍ර 10 ක් ආවරණය වන පරිදි තාක්ෂණික විසඳුම් පිරිනමන සමාගමක් බවට පරිණාමය වී තිබෙනවා. අපගේ කණ්ඩායමේ හැකියාව, කැපවීම සහ විශේෂඥ දැනුම ඔස්සේ අපට ගෝලීය ආහාර සේවා කර්මාන්තය පරිවර්තනයකට ලක්කිරීමට හැකි වීම මහත් සතුටක්.” Sysco LABS කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා පැවසී ය. 

Sysco LABS පිළිබඳව 

Sysco LABS ලොව විශාලතම ආහාර සේවා සම්පාදක වන Sysco Corporation (NYSE: SYY) හි Global In-House Center ලෙස කටයුතු කරයි. Fortune 500 සමාගමක් වන Sysco ඩොලර් ට්‍රිලියන ගණනක වටිනාකමකින් යුත් ආහාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සැලකේ. 

Sysco හි සේවය කරන සංඛ්‍යාව 72,000 කට අධික වන අතර, ලොව පුරා එහි සුහුරු බෙදාහැරීම් මධ්‍යස්ථාන 330 කට වැඩි සංඛ්‍යාවක් පිහිටා ඇත. එමෙන්ම එය සතු IoT තාක්ෂණික පහසුකම්වලින් බලගැන්වූ ට්‍රක් රථ 14,000 කට වැඩි සංඛ්‍යාවක් ලොව පුරා පාරිභෝගික ස්ථාන 725,000 කට අධික සංඛ්‍යාවක ස්ථානගත කර තිබේ. 2023 ජූලි 01 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා සමාගමේ විකුණුම්වල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 76 ඉක්මවයි. 

Sysco හි මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණය සැපයීම Sysco LABS හි කාර්යභාරයයි. එහි ඉංජිනේරු කණ්ඩායම් කොළඹ, ඔස්ටින් සහ හූස්ටන් හි සිට තම වගකීම් ඉටුකරමින් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කරන තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමට සමත් වී තිබේ. 

ආහාර නිෂ්පාදනය කිරීම, වෙළඳ භාණ්ඩකරණය (Merchandising), ගබඩා කිරීම, ඇණවුම් කිරීම හා මිල නියම කිරීම මෙන්ම Sysco හි ගෝලීය ජාලය තුළ ආහාර හා වෙනත් භාණ්ඩ බෙදා හැරීමේ සිට පාරිභෝගිකයන් ආපනශාලාවලදී ආහාර ගැනීමේ අදියර දක්වාම Sysco LABS තාක්‍ෂණයන් විහිදී පවතී. 

ඡායාරූපය 01- Sysco LABS Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා, ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය පිළිගනිමින් 

ඡායාරූපය 02 – Sysco LABS Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා උත්සව සභාව අමතමින් 

ඡායාරූපය 03 – Sysco උප සභාපතිනි සහ ප්‍රධාන තොරතුරු නිලධාරිනී (ඇමරිකා) ලීස් මොනහන් මහත්මිය උත්සව සභාව අමතමින් 

ඡායාරූපය 4 – Sysco මෙරට මෙහෙයුම්වල දශ වර්ෂ පූර්ණය නිමිත්තෙන් සංවිධානය කළ උත්සවය මෙහෙයවූ Sysco හි විධායක උප සභාපති සහ ප්‍රධාන තොරතුරු හා ඩිජිටල් නිලධාරී ටොම් පෙක් මහතා

ඡායාරූපය 05 – Sysco හි ගෝලීය තාක්ෂණ නායකත්ව කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්, ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ Sysco LABS Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා සමග 

A group of people posing for a photoDescription automatically generated

ඡායාරූපය 6 – Sysco හි ගෝලීය තාක්ෂණ නායකත්ව කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්, Sysco LABS Sri Lanka හි නායකත්ව කණ්ඩායම සමග 

ඡායාරූපය 7 – Sysco හි විධායක උප සභාපති සහ ප්‍රධාන තොරතුරු හා ඩිජිටල් නිලධාරී ටොම් පෙක් මහතා උත්සව සභාව ඇමතූ අයුරු 

ඡායාරූපය 8 – ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජූලී චන්ග් මහත්මිය උත්සව සභාව අමතමින් 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply