රුපියල් බිලියන ගණනින් මුදල් උපයා ගැනීමට හැකියාව ඇති ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය පිළිබඳව අවධානය යොමු කිරීම

Share with your friend

මනෝජ් උඩුගම්පොල විසිනි

ශ‍්‍රී ලංකාව සතු විදේශ මුදල් සංචිත ප‍්‍රමාණය ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින මෙවන් වකවානුවක, මෙරට රබර් අපනයන ක්ෂේත‍්‍රයේ තවමත් හරියාකාරව භාවිතා නොකළ විශේෂ අංශ කෙරෙහි නිසි අවධානයක් යොමු කළ යුතුව ඇත.

රබර් ක්ෂේත‍්‍රයේ විදේශ විනිමය ඉපැයීමේ හැකියාව සැලකිල්ලට ගැනීමේදී 2024 වන විට ක්ෂේත‍්‍රය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4.4 ක අපනයන ආදායමක් ඉපැයීමට මීට පෙර අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හට ඉලක්කයක් තිබුණි. එම අගය රජය විසින් ගෙවනු ලැබූ (2021 ජූලි අවසන් සතියේ) අවසන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයේ (ඇ.ඩො.බි 1ක) වටිනාකම මෙන් 4.4 ගුණයක් පෙන්නුම් කරයි.

තවද, කෙටි කාලීන සිට මධ්‍ය කාලීන දක්වා සහ දිගු කාලීන වශයෙන් දෙඅංශයෙන්ම රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට මෙරට රබර් කර්මාන්තයට හැකියාව පවතී.

කෙටිකාලීන වශයෙන් රබර් මිල ගණන්වල සැලකිය යුතු ඉහළ යාමක් දක්නට ලැබුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස වසරේ පළමු අර්ධයේදී කොළඹ රබර් වෙන්දේසියේ රබර් කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 300 සිට රුපියල් 600ක් දක්වා දෙගුණයකින් ඉහළ ගියේය. 

දිගු කාලීන වශයෙන් සැලකීමේදී ගුණාත්මක බව අනුව වර්ග කරන රබර් නිෂ්පාදනය කිරීමේ හැකියාව අතින් ශ‍්‍රී ලංකාවට තරඟකාරී වාසියක් හිමි වී ඇත්තේ වෙනත් රටවල් විසින් ඒවා නිෂ්පාදනය නොකරන නිසාය. ශ‍්‍රී ලංකාව නිෂ්පාදනය කරන රබර්වල ඇති සුවිශේෂී ගුණාංග හේතුවෙන් (උදාහරණයක් ලෙස, ස්වභාවික සුපිරිසිදු රබර් ලෙස සැලකෙන කේ‍්‍රප් රබර් සහ සෝල් කේ‍්‍රප් ශ්‍රේණිවල රබර් නිෂ්පාදනය කරන එකම රට වන්නේ ශ‍්‍රී ලංකාව පමණි) ශ්‍රී ලංකාව රබර් සඳහා ජාත්‍යන්තරය තුළ අත්කර ගෙන ඇති ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට සමත් වී තිබේ. තවද, ලොව විශාලතම Industrial solid ටයර් අපනයනකරු මෙන්ම ශල්‍ය කටයුතු සඳහා භාවිතා කරන අත්වැසුම් අපනයනය කරන ලොව පස්වන රට ද වන්නේ ශ‍්‍රී ලංකාව බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. 

දැනට පවතින අභියෝග

වර්තමානයේදී රබර් කර්මාන්තය ප‍්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටී. ඒවා නම් පොහොර හිඟය පිළිබඳ ගැටළුව හා රබර් වතුවල සීඝ‍්‍රයෙන් පැතිර යන කොළවලට බලපානු ලබන නව රෝගී තත්වයයි.

රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් ලබන වසර වන විට නිෂ්පාදනයෙන් 20% ක අඩු වීමක් කර්මාන්තය බලාපොරොත්තු වන අතර තවත් වසර ගණනාවකට මෙහි අහිතකර බලපෑම පවතිනු ඇත. ගැටළුව එය නම්, එහි ඇති වඩාත් අවාසනාවන්ත තත්වය වන්නේ කර්මාන්තය තවත් ආගාධයට යෑමත් එමගින් ආර්ථිකයට හා විදේශ විනිමය ඉපැයීම් සඳහා කර්මාන්තය දක්වනු ලබන දායකත්වය අඩු වීමත්ය. ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටින විශාල සංඛ්‍යාවක ජනතාවගේ ජීවිතවලට ද (200,000 පමණ යැයි ඇස්තමේන්තු කර ඇත) මෙය අහිතකර ලෙස බලපානු ඇත.

ප‍්‍රශස්ත වර්ධනයක් සහ හොඳ අස්වැන්නක් ලබා ගත හැක්කේ රබර් ශාකයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දීමෙන් පමණි. ගැටළුව වඩාත් සංකීර්ණ වී ඇත්තේ, ශ‍්‍රී ලංකාවේ රබර් වගාවන් පරම්පරා ගණනාවක් පුරාවට පැවත ගෙන ඒම නිසා එමගින් පසෙහි සාරවත් බව පහත වැටී තිබීමයි. මේ හේතුවෙන් නිවැරදි ප‍්‍රමාණයට පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ. රබර් වගා කරන්නන් සෑම වසර 3 කට වරක් පස හා පත‍්‍ර විශ්ලේෂණය පදනම් කරගනිමින් ශ‍්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ (RRISL) නිර්දේශය මත සුදුසු පොහොර යෙදීම අවශ්‍ය වේ. ඒ අනුව, RRISL හි මාර්ගෝපදේශ පිළිපදින්නේ නම්, ශාකයට අමතර පොහොර යෙදීම අවශ්‍ය නොවේ. මෙහි ඇති සිත්ගන්නා කරුණ වන්නේ එළවළු හෝ වී වැනි වෙනත් බෝග හා සසඳන විට රබර් සඳහා එක් භූමි ප‍්‍රදේශයකට භාවිතා කරනු ලබන පොහොර හා රසායනික ප‍්‍රමාණය ඉතා අඩු මට්ටමක පැවතීමත් ජල මූලාශ‍්‍ර කෙරෙහි ඇති කරනු ලබන බලපෑම ද අවම වීමත්ය. 

කෙටි කාලීන අස්වැන්න අඩු වීමට අමතරව, RRI හි නිර්දේශයන්ට අනුකූලව භාවිතා නොකිරීම රබර් පැළයේ වර්ධනය අඩාල කිරීමට හේතු වන අතර සිටුවීමෙන් ආසන්න වශයෙන් වසර 6 ක් පමණ වන නොමේරූ කාලය දීර්ඝ වීමට ද එය බලපානු ඇත. මෙය රබර් ගසේ මුළු ඵලදාව (ඵලදායී රබර් ගසක වසර 30ක් පමණ වන ආයු කාලය) අඩු කරන අතර එනිසා සමස්ත වගාවේ ඵලදාවද අවම කරනු ඇත.

ඉහත සඳහන් කරුණුවලට අමතරව, ශ‍්‍රී ලංකාවේ රබර් වගාවන් මුහුණ දෙන කෘමි උවදුරු හා රෝගවලට එරෙහිව සටන් කිරීමටත් ගසේ ප‍්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම සඳහාත් පොහොර අවශ්‍ය වේ.

අද වන විට ශ‍්‍රී ලංකාවේ රබර් වගා කරන සියළුම ප‍්‍රදේශවල ඇති රබර් වගාවන්ට ‘Pestalotiopsis’ නම් දිලීර රෝගයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබේ. මෙම දිලීර රෝගය හේතුවෙන් රබර් ගස්වල කොළ ඉක්මනින් හැළී යයි. නැවත නැවතත් මෙම දිලීර රෝගයෙන් ප‍්‍රහාර එල්ල වුවහොත් වාර්ෂිකව 40%ක් දක්වා අස්වැන්න පහත වැටීමට ද එය හේතු විය හැකිය. අවාසනාව නම් මෙම දිලීර රෝගය පාලනය කිරීම සඳහා ඇතැම් රසායනික ද්‍රව්‍ය සමඟ අමතර පොහොර යෙදීම මේ සඳහා ඇති ප‍්‍රධාන නිර්දේශයක් වී තිබීමයි. නමුත් මෙම අදහස් ක‍්‍රියාත්මක නොවීම නිසා මෙම ගැටළු තවදුරටත් සංකීර්ණ වෙමින් පවතී.

දිගුකාලීන බලපෑම

රබර් නැවත වගා කිරීම ඉතා වැදගත් මෙන්ම මිල අධික ක‍්‍රියාවලියක් වන නමුත් එය රබර් කර්මාන්තයේ පැවැත්මට හා තිරසාරභාවය සඳහා ප‍්‍රධාන සාධකයක් වේ. ආකර්ෂණීය රබර් මිල ගණන් සමඟින් වගාකරුවන් තුළ දැඩි උනන්දුවක් ගොඩනැගෙමින් තිබීම සැබවින්ම සතුටට කරුණකි. නමුත් තවත් රබර් වගාකරුවන් ක්ෂේත‍්‍රයට සම්බන්ධ කරගැනීමේදී පවතින අනෙකුත් අවාසනාවන්ත සාධක ඒ සඳහා බාධාවක් වී තිබේ. මෙය දිගුකාලීන වශයෙන් ක්ෂේත‍්‍රයට එතරම් හොඳ තත්වයක් නොවනු ඇත. 

නැවත සිටුවීමට අවශ්‍ය නිරෝගීමත් හා ශක්තිමත් රබර් පැළ නිපදවීම සඳහා තවාන් අවධියේදී සෑම දෙසතියකට වරක්ම විශේෂ පොහොර මිශ‍්‍රණයක් පැළ සඳහා යෙදීම වැදගත් වේ. තවාන් කාලයේදී පොහොර ප‍්‍රමාණවත්ව නොලැබීම නිසා පැළවල ගුණාත්මකභාවයට හානි විය හැකි අතර ඉදිරි වසර 30 සඳහා මෙම පැළ රබර් නිෂ්පාදනය සඳහා භාවිතා කරනු ලබන බැවින් එමඟින් රබර් නිෂ්පාදනයට දිගු කාලීනව අයහපත් බලපෑමක් ඇති විය හැකිය. 

විකල්ප විසඳුම්

මෙරට රබර් පර්යේෂණායතනය හා රබර් වැවිලි සමාගම් එක්ව පොහොර අඩුවෙන් භාවිතා කිරීම සඳහා මේ වන විටත් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කරමින් සිටී. උදාහරණයක් ලෙස, නොමේරූ රබර් ගස් ඇති ප‍්‍රදේශවල එම රබර් ගස් වටා වලදමා ඇති නලයක් භාවිතා කරමින් ක‍්‍රම ක‍්‍රමයෙන් පොහොර යෙදීමේ ක‍්‍රමය හඳුන්වා දීම සඳහා සිදු කළ අත්හදා බැලීම් සාර්ථක වී තිබේ. මේතාක් දුරට පෙනෙන්නට ඇත්තේ මෙම තාක්ෂණය මගින් පොහොර භාවිතය පුදුම සහගත ලෙස හරි අඩකින් පමණ අඩු කළ හැකි බවයි. එවැනි තාක්ෂණයන් භාවිතා කිරීම මගින් පොහොර උපරිමයෙන් අවශෝෂණය කිරීමට උපකාරී වන අතර පොහොර හා ශ‍්‍රම පිරිවැය පිළිබඳව සැලකීමේදී වැවිලි සමාගම්වලට මුදල් ඉතිරි කර ගැනීමට ද හැකි වේ. එනිසා එම තාක්ෂණයන් වාණිජමය මට්ටමින් ප‍්‍රායෝගික නම් වැවිලි සමාගම්වලට ඒවා යොදා ගත හැකිය.

එවැනි විකල්පයන් මගින් රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා පරිසරයට සිදු වන බලපෑම සැලකිය යුතු ලෙස අඩු කර ගතහැකි අතර එමගින් කාබනික පොහොර වෙනුවට සාම්ප‍්‍රදායික පොහොර ආදේශ කිරීම හා සමාන බලපෑමක් ඇති කළ හැකි වනු ඇත.

පසෙහි භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ගුණාංග වැඩිදියුණු කිරීම සඳහා කාබනික පොහොර භාවිතා කළ යුතු බවට නිර්දේශ කර තිබුණද, රබර් වගා කරන බොහෝ ප‍්‍රදේශවල කාබනික පොහොර භාවිතා කිරීමෙන් පසු කෘමි උවදුරු හා දීලීර රෝග තත්වයන් හි ඉහළ යාමක් පෙන්නුම් කළේය.

මෙහි ඇති අවාසනාවන්ත තත්වය නම්, සාම්ප‍්‍රදායික පොහොර වෙනුවට භාවිතා කළ හැකි කාබනික පොහොර ආදේශකයක් තවමත් RRISL විසින් නිර්දේශ කර නොතිබීමයි.

ක්ෂේත‍්‍රයේ උන්නතිය උදෙසා සියලූ පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් 

රබර් කර්මාන්තය මේ වන විට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතරම, විදේශ විනිමය උපයන්නෙකු ලෙස හා රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකගේ ජීවනෝපායන් ඉහළ නංවන අංශයක් ලෙස එම ක්ෂේත‍්‍රයට ඇති හැකියාව සැලකීමේදී ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම වටී. 

දේශීයව නිපදවන රබර්වල ඇති උසස් ස්වාභාවික ගුණාංග සහ වෙනත් රටවල් සතුව නොමැති ගුණාත්මකභාවයෙන් ඉහළ රබර් වර්ග නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකාව සතු හැකියාව නිසා රටට තරඟකාරී වාසියක් ලැබී ඇත. කෙසේවෙතත් පොහොර සම්බන්ධයෙන් ක්ෂේත‍්‍රය තුළ මේ වන විට පැන නැගී ඇති තීරණාත්මක වූත් කෙටිකාලීන හා දිගු කාලීන අභියෝගවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙම අවස්ථාව මුළුමනින්ම සාක්ෂාත් කරගත නොහැකිය. 

අදාල බලධාරීන් සමඟ එක්ව මේ සඳහා ප‍්‍රායෝගික විසඳුම් සෙවීමට ක්ෂේත‍්‍රයේ පාර්ශවකරුවන් දැඩි උනන්දුවකින් පසුවෙයි. සංවාද හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමෙන් ක්ෂේත‍්‍රයට සිය සැබෑ හැකියාව ඉහළ නංවන අතරම සියලූ පාර්ශවයන්ට වගකියනු ලබන විසඳුමක් අපට සොයා ගත හැකි වනු ඇති බවට අපට විශ්වාසයි.

කතුවරයා පිළිබඳව:

මනෝජ් උඩුගම්පොල සතුව රබර් ක්ෂේත‍්‍රයේ වසර 30 කට වැඩි අත්දැකීම් සම්භාරයක් ඇත. ඔහු රබර් වෙළෙඳුන්ගේ සංගමයේ වත්මන් උප සභාපතිවරයා වන අතර පුස්සැල්ලාව වැවිලි සමාගමේ රබර් අංශයේ  ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ද වෙයි. වයඹ විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු MBA උපාධිධරයෙකු වන අතර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ද ලබා ඇත. එමෙන්ම ඔහු ජාතික වැවිලි කළමනාකරණ ආයතනයෙන් වැවිලි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply