ශ්‍රී ලංකාවේ එකම Hybrid Wallet විසඳුම වන DFCC Virtual Wallet වෙතින් සුවිශේෂී ඩිජිටල් දන්සැලක්

Share with your friend

ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික-කේන්ද්‍රීය සහ, වඩාත්ම පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන බැංකුව බවට පත්වීමේ අරමුණ මුල්කරගෙන පෙරට යමින් සිටින DFCC බැංකුව, COVID-19 නිසා විපතට පත් ජනතාවට අත්වැලක් වීම සඳහා සිය ‘DFCC Virtual Wallet’ හරහා විශේෂ ‘ඩිජිටල් දන්සැලක්’ ආරම්භ කර තිබේ. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, අද අප සියලුම දෙනාට මුහුණ දීමට සිදුවී ඇති මෙම අවාසනාවන්ත තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින අපගේම සහෝදර ජනතාවට අත්වැලක් වනු පිණිස ශ්‍රී ලාංකිකයන්ගේ පරිත්‍යාගශීලීත්වය කුළුගැන්වෙමින් පවතින පසුබිමක් තුළ ය.

ශ්‍රී ලංකාවේ බැංකුවක් විසින් මෙබඳු වැඩසටහනක් ක්‍රියාවට නැංවූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මෙහිදී ගනුදෙනුකරුවන්ට Virtual Wallet භාවිතා කරමින් තමන් කැමති ඕනෑම මුදලක් පරිත්‍යාග කිරීමට හැකි වන අතර, DFCC බැංකු ශාඛා පිහිටි ප්‍රදේශ වල COVID-19 නිසා පීඩාවට පත් ජනතාව අතර වියළි ආහාර බෙදාදීම සඳහා එම මුදල් යොදවනු ලැබේ. ශක්තිමත් ප්‍රජාවන් නිර්මාණය කිරීම ඉලක්ක සිය තිරසාරත්ව ක්‍රමෝපාය අනුව, ගනුදෙනුකරුවන් විසින් පරිත්‍යාග කරනු ලබන මුදලට සමාන මුදලක් මෙම සත්කාරය සඳහා පරිත්‍යාග කිරීමට DFCC බැංකුව කටයුතු කරනු ඇත. DFCC බැංකුවේ තිරසාරත්ව අංශය, රට පුරා විහිදුණු ශාඛා 139 ද සම්බන්ධ කරගනිමින්, මෙම වියළි ආහාර බෙදාදීමේ වැඩසටහන සම්බන්ධීකරණය කරයි.

DFCC Virtual Wallet ඩිජිටල් දන්සලට දායක වීම සඳහා ගනුදෙනුකරුවන් කළ යුතු වන්නේ, Virtual Wallet app හි ඇති ‘Donations’ කොටසට පිවිසී අදාළ පරිත්‍යාගය සිදුකිරීම පමණි. තම පරිශීලක නාමය (Username) සහ මුරපදය (Password) යොදා Virtual Wallet තුළට පිවිසී, ඉන් පසුව ‘Bills’ කොටස ක්ලික් කර, ඒ ඔස්සේ ‘Donations’ තෝරාගත හැකි ය. ඒ යටතේ ‘Digital Dansala’ කොටස තෝරාගෙන තමන් කැමති පරිත්‍යාගය සිදුකළ හැකි වේ. දැනට DFCC බැංකුවේ ගනුදෙනුකරුවෙකු නොවන කෙනෙකුට DFCC වෙබ් අඩවියට පිවිසී තම නිවසේ සිටම DFCC ගිණුමක් විවෘත කළ හැකි අතර, ඉන් අනතුරුව DFCC Virtual Wallet සක්‍රීය කර, තම ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් හෝ, පැය 24 පුරා ක්‍රියාත්මක 0112 35000 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් පරිත්‍යාගයන් සිදුකිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ ප්‍රථම Mobile Virtual Wallet සේවාව ලෙස DFCC Virtual Wallet හඳුන්වා දීම සිදුවූයේ 2015 වසරේදී ය. මෙමගින් බිල්පත් වර්ග 40 කට වැඩි සංඛ්‍යාවක් ගෙවීම, ආයතනික ගෙවීම් සිදුකිරීම, CEFT හරහා මුදල් මාරු කිරීම, වෙනත් බැංකු වල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් කිරීම, තම ජංගම හා ඉතුරුම් ගිණුම් වල ශේෂය පරීක්ෂා කිරීම, පොලී අනුපාත පරීක්ෂා කිරීම, ස්ථාවර තැන්පතු කල්පිරෙන දිනයන් පරීක්ෂා කිරීම, ප්‍රතිලාභීන් නම් කිරීම සහ ඊමේල් හෝ WhatsApp කරහා CEFT ගෙවීම් උපදෙස් ලබාදීම වැනි සේවාවන් රාශියක් ලබාගත හැකි වේ. තවද, ගනුදෙනුකරුවන්ට DFCC ක්‍රෙඩිට් කාඩ්පතක් එකතු කිරීම හා ශේෂයන් පරීක්ෂා කිරීම මෙන්ම, මාස 3 ක ගිණුම් ප්‍රකාශ, ගනුදෙනු තොරතුරු, Cashback ප්‍රතිලාභ තොරතුරු, ගෙවිය යුතු අවම මුදල, මෑත කාලීන හා අය නොකරන ලද ගනුදෙනු සහ පවතින ශේෂය වැනි, ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධ විවිධ තොරතුරු පරීක්ෂා කළ හැකි ය. එපමණක් නොව, පවතින තත්ත්වය හමුවේ ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් ලබාදීම සඳහා, අලුත්ම විශේෂාංග 25 ක් පමණ මීට එක්කිරීමටද DFCC බැංකුව පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “අප මේ ගෙවමින් සිටින්නේ, මට මතක ඇති ඉතිහාසය තුළ, ජාතියක් වශයෙන් අප සාමූහිකව ගෙවන දුෂ්කරම කාලපරිඡේදයයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරිපෙළ සාමාජිකයන් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට වෙහෙසෙන අතර, මූල්‍ය ආයතන වැනි අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ජනතාව මූල්‍යමය පීඩාවන්ගෙන් මුදවා ගැනීමට කටයුතු කළ යුතු වෙනවා. මෙහිදී ජනතාවට සහන සැලසීම සඳහා සාම්ප්‍රදායික සීමාවන් ඉක්මවා යමින්, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතා කළ යුතු බව DFCC බැංකුවේ විශ්වාසයයි. DFCC Virtual Wallet ඩිජිටල් දන්සැල වැඩසටහන, අපගේ ගනුදෙනුකරුවන් තුළ ඇති මානව පරිත්‍යාගශීලීත්වය අවදි කරාවි. ඒ ඔස්සේ ඔවුන්ට, පීඩාවට පත්වූ ජනතාවට සහනයක් සලසමින්, ජාතිය නැවත ගොඩනැංවීමේ උත්සාහයට දායක වීමට මහඟු අවස්ථාවක් උදාවෙනවා.”

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. Business Today සඟරාව මගින් ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇති DFCC බැංකුව 2021 Brand Finance Top 100 Most Valuable Brands ලැයිස්තුවටද ඇතුළත් වී ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply