හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 රෝගීන් ජීවිත ආරක්ෂා කිරීම සඳහා සිව්වන අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotel & Spa හි ආරම්භ කරයි

Share with your friend

ශ‍්‍රී ලංකාවේ පළමු වරට ACHSI ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හිමිකර ගත් මෙරට ප‍්‍රමුඛතම රෝහල් ජාලයක් වන හේමාස් රෝහල් සමූහය, කෝවිඞ් 19 වසංගතයට එරෙහි සිය අඛණ්ඩ මෙහෙයුම තවත් පුළුල් කරමින් සිය සිව්වැනි අතරමැදි කෝවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වාද්දුව Blue Water Hotel & Spa සංචාරක හෝටලය කේන්ද්‍ර කර ගනිමින් අරඹන ලදි. මෙම පංතියේ සංචාරක හෝටලය හේමාස් රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් මෙහි යටිතල පහසුකම් උපයෝගී කර ගනිමින් පූර්ණ පහසුකම් සහිත කෝවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ දැඩි අවධානයක් සහ නිරන්තර පසුවිපරමක් සහිත කෝවිඞ් රෝගීන් සඳහා විශේෂිත දැඩි සත්කාරක ඒකකයක් ^High Dependency Unit& මෙහි ස්ථාපනය කර ඇත. මෙම ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබූ දැඩි නියාමන රීතීන්ට අනුකූලව පවත්වාගෙන යනු ඇත. හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 න් ආරක්ෂිත ශ‍්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ (SLS 1672:2020) ප‍්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබූ අතර රෝහල් සමූහයේ පළමු අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය උස්වැටකෙයියාව, Kaya Wellness Resort හිදී සහ දෙවැන්න සී ෂයින් හෝටලයේදී සහ තෙවැන්න Berjaya සංචාරක හෝටලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරනු ලැබීය.

ප‍්‍රාථමික සෞඛ්‍ය, වසංගත හා කෝවිඞ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යංශයේ වාර්තාවන්ට අනුව වර්තමානයේ මෙරට කෝවිඞ් 19 නව වෛරස ප‍්‍රභේදය වැළඳුනු රෝගීන්ගෙන් 17% කට ඔක්සිජන් ප‍්‍රතිකාර ලබා දීමේ අවශ්‍යතාව මතුවන අතර 4‍%ත් 5‍%ත් අතර රෝගීන් ප‍්‍රතිශතයක් කෝවිඞ් හේතුවෙන් හටගන්නා වෙනත් සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් දැඩි සත්කාර ඒකකයන්හි ප‍්‍රතිකාර ගැනීමේ තත්වයට පත්ව ඇත. එහෙත් දිනෙන් දින වර්ධනය වන රෝගීන්ගේ සංඛ්‍යාව සහ දිගු කාලයක් මුළුල්ලේ විශාල රෝගීන් සංඛ්‍යාවකට ප‍්‍රතිකාර ලබාදීමට සිදු වීම යන හේතුන් නිසා රජයේ සෞඛ්‍ය අංශය දැඩි පීඩනයකට හා වෙහෙසකර තත්වයකට පත්ව ඇත. එබැවින් හේමාස් රෝහල් සමුහය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන කෝවිඞ් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ධාරිතාව පුළුල් කිරීම සඳහා නව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයන් ආරම්භ කිරීම කාලෝචිත අවශ්‍යතාවක් සපුරාලීමක් ලෙස හැඳින්විය හැක.  

‘‘ වේගයෙන් ව්‍යාප්ත වන කෝවිඞ් වසංගත තත්වය පාලනය කිරීම රජයේ සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ නොහැකි අතර මේ සඳහා පුද්ගලික අංශයේ දායකත්වය අත්‍යාවශ්‍ය වන බවට කිසිදු සැකයක් නැහැ. මේ සියලූ කරුණු හොඳින් අධ්‍යනය කර අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන අප විසින් ඇරඹු අතර මෙහි සිව් වැනි මධ්‍යස්ථානය පසුගියදා වාද්දුව Blue Water Hotel & Spa සංචාරක හෝටලයෙහි ඇරඹීමට අපට හැකි වුනා. විශේෂයෙන්ම කෝවිඞ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සිදුකළ හැකි සංකීර්ණ ප‍්‍රතිකාර පහසුකම් ද මෙම අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ස්ථාපනය කිරීමට අප විසින් පියවර ගෙන තිබෙනවා. එමෙන්ම මෙම හෝටලයේ පිහිටීම සහ එහි පහසුකම් කෝවිඞ් රෝගීන්ගේ සුවපත් බව වේගවත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. කෝවිඞ් රෝගීන්ගේ සමස්ත ප‍්‍රතිකාර කාලසීමාව පුරාවටම ඔවුන් වෙනුවෙන් කැපවූ කෝවිඞ් 19 වෛරසය සඳහා ප‍්‍රතිකාර කිරීමේ පුහුණුව ලත් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් මෙහි සේවයට යොදවා ඇති අතර කෝවිඞ් සංකූලතාවන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලූ ඖෂධ සහ උපාංගයන්ගෙන් මෙම අතරමැදි ප‍්‍රතිකාර ඒකකය සමන්විත වෙනවා. එමෙන්ම කෝවිඞ් වසංගතය මෙරට තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා රජයේ සෞඛ්‍ය බලධාරීන් සමග එක්ව වෛරසයේ ව්‍යාප්තිය පාලනය සහ වැළැක්වීම සඳහා හේමාස් රෝහල් සමූහය සුවිශේෂී ජාතික මෙහෙවරක කොටස්කරුවකු බවට පත් වූ අතර ඉදිරියටත් කෝවිඞ් මර්දන ජාතික ක‍්‍රියන්විතය සඳහා පුද්ගලික රෝහල් සමූහයක් ලෙස හේමාස් රෝහල් සමූහයට පැවරෙන  ඕනෑම කර්තව්‍යක් නොපිරිහෙලා ඉටු කරන බවට ශ‍්‍රී ලාංකිකයින්ට අපි ප‍්‍රතිඥාවක් ලබා දෙනවා’’ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසීය.

තරු පංතියට අයත් මෙරට ප‍්‍රමුඛතම හෝටලයක් වන කෝවිඞ් 19 රෝගියකු බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව එබඳු රෝගියකුට හේමාස් රෝහල් සමූහයේ 94 766830146 අංකයට ඇමතීමෙන් සිය ප‍්‍රතිකාර කාලසිමාව වෙන්කරවා ගත හැකි අතර ඉතා ඉක්මනින් හේමාස් රෝහලේ ක‍්‍රියාත්මක 24 පැයේ ගිලන් රථ සේවාව මගින් එම රෝගියා කඩිනමින් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකෙරේ. වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය මෙහි සියලූ කෝවිඞ් රෝගීන් පිලිබඳව පැය 24 පුරාම සිය දැඩි අවධානය යොමු කරන අතර දෛනිකව රෝගීන්ගේ රෝග තත්වය පරීක්ෂා කිරීම සිදු කරයි. එමෙන්ම  ඕනෑම හදිසි අවස්ථාවකදී පැමිණීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායම් සූදානමින් සිටී.

කෝවිඞ් රෝගීන් සඳහා විශේෂයෙන් ප‍්‍රතිකාර ලබා දීමේ පුහුණුවත් සහිත වෛද්‍ය සහ හෙද කණ්ඩායමට අමතරව විශේෂිත දැඩි සත්කාර ලබා දිය හැකි HDU ප‍්‍රතිකාර ඒකකයක් ,ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ඖෂධයන්ගෙන් මෙම ප‍්‍රතිකාර ඒකකය සමන්විත වේ. මිට අමතරව සියලූ රෝගීන් විශේෂඥ වෛද්‍යවරයකුගේ සහ පෝෂණවේදියකුගේ අධීක්ෂණයට ලක් වේ.

මෙම පරීශ‍්‍රය තරු පංතියේ සංචාරක හෝටලයක් වන Blue Water Hotel & Spa සංචාරක හෝටලයෙහි පිටිහි බැවින් සියලූ පහසුකම්වලින් සමන්විත වායුසමනය කළ කාමර 140ක්  මෙහි පිහිටා ඇත. ලොව ප‍්‍රමුඛතම ගෘහනිර්මාණ ශිල්පියකු වන ආචාර්ය ජෙෆ්රි බාවා මහතාගේ නිර්මාණ සංකල්පයෙන් මෙම මනරම් හෝටලය ඉදිකොට ඇත. එමෙන්ම ආහාර ලබා දීමේදී රෝගී පුද්ගලයාගේ සංකූලතාවන් සැලකිල්ලට ගෙන ආහාර ලබා දෙන අතර ඉහළ විවිධත්වයක් සහිත ආහාරපාන ලබා ගැනීමේ අවස්ථාව කෝවිඞ් රෝගීන්ට හිමිවනු ඇත.

රෝගීන්ගේ ආරක්ෂාව සඳහා පළමු වරට IMS ප‍්‍රමිති සහතියන් වන ISO 9001: 2015, තත්ව කළමනාකරන පද්ධති ප‍්‍රමිතිකරණය, ISO 14001: 2015 පරිසර කළමනාකරණ පද්ධති ප‍්‍රමිතිකරණය, සහ ISO 45001: 2018 වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය කළමනාකරණ පද්ධති ප‍්‍රමිතිකරණය හිමිකර ගෙන සිටින හේමාස් රෝහල් සමූහය මෙරට පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය සඳහා ජාත්‍යන්තර ප‍්‍රමිතිකරණය හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියානු සුවසේවා කවුන්සලයේ ප‍්‍රමිතිකරණය හිමිකර ගත් පළමු රෝහල් සමූහය බවට පත් විය.

හේමාස් රෝහල පිළිබඳව

ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමිකර ගැනීමට සහ අඛණ්ඩව එය පවත්වාගෙන යෑමට ද සමත් වී ඇත. වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බවට වර්ධනය වී එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. මීට අමතරව හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් රසායනාගාර සමූහය දීපව්‍යාප්තව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය ත්‍ඵක්‍ඨ, සෞඛ්‍ය සහ ප‍්‍රවාහන ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.

හේමාස් සමූහය මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400ක වියදමකින් ගුරුවරුන් 140 කට වැඩි ප‍්‍රමාණයක් හා ළමුන් 3200 සඳහා දිවයින පුරා පෙර පාසල් 53ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්වවිද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650ක වියදමකින් රාගම රෝහලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත.

සමාප්තයි.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply