එක්සත් රාජධානියේ ‘හොපර්ස්’ සහ හේමාස් අවුට්රීච් පදනම එක්වී පියවර පෙරපාසල් වල දරුවන්ට පෝෂණ මලු පිරිනමයි

Share with your friend

එක්සත් රාජධානියේ සුප්‍රකට ආපනශාලාවක් වන ‘හොපර්ස්’ (Hoppers) සහ ‘හේමාස් අවුට්රීච් පදනම’ (Hemas Outreach Foundation) එක් වී තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල අවම වරප්‍රසාදිත දරුවන් වෙනුවෙන් පෝෂණ මලු බෙදාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධන කාලසීමාව තුළ ඇති විය හැකි මන්දපෝෂණ අවදානම වැළැක්වීම මෙහි මූලික අරමුණ වී ඇත.

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ අඩු ආදායම්ලාභී පවුල් රැසකට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර, මේ නිසා රට පුරා කුසගින්න සහ මන්දපෝෂණය වැනි ගැටලු ඇති වී තිබේ. මෙම තත්ත්වය අවම කිරීමේ පියවරක් වශයෙන් මේ ආකාරයට තෝරාගත් ‘පියවර’ පෙර පාසල් වල දරුවන්ට පෝෂණ මලු ප්‍රදානය කිරීම සඳහා ‘හොපර්ස්’ ආපනශාලාව තම ‘Feeding the Future’ ව්‍යාපෘතිය යටතේ හේමාස් අවුට්රීච් පදනම සමග එක් විය. 

මුල් ළමාවිය සහ රැකවරණ සංවර්ධනය (Early Childhood and Care Development – ECCD) ඉලක්ක කරගත් ‘Feeding the Future’ වැඩසටහන යටතේ, වවුනියාව, මුලතිවු, කිලිනොච්චිය, මොණරාගල, මන්නාරම සහ අම්පාර යන ප්‍රදේශ වල පිහිටි ‘පියවර’ පෙර පාසල් වල ඉගෙනුම ලබන දරුවන් සිටින පවුල් 367 කට, එක් පවුලකට පවුම් 25 ක වටිනාකමකින් යුත් පෝෂණ මලු බෙදා දීම සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ කෙටිකාලීන අරමුණ වන්නේ දරුවන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණය ලබාදීම වන අතර, මෙමගින් එම දරුවන් නිතිපතා පෙරපාසල් වෙත එවීමට දෙමාපියන් යොමුකරවීමද අපේක්ෂා කෙරේ. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය වූ පසුව, වෙනත් අවශ්‍යතා සම්බන්ධයෙන් මෙම ව්‍යාපෘතියේ අවධානය යොමුකෙරෙනු ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, හේමාස් අවුට්රීච් පදනමේ සහ ආයති භාරයේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාළ මහත්මිය කියා සිටියේ, මන්දපෝෂණය යනු මෙරට අඩු ආදායම්ලාභී පවුල් දීර්ඝ කාලයක පටන් මුහුණ දෙන ගැටලුවක් බවයි. “මෙම ව්‍යාපෘතිය ඔස්සේ, රටේ පවතින අර්බුද හේතුවෙන් බරපතළම බලපෑමට ලක් වූ පවුල් රැසකට සහනයක් සැලසීමට හැකිවනු ඇතැයි කියා අප සිතනවා. හේමාස් අවුට්රීච් පදනම යනු, මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය ඔස්සේ රටේ අඩු වරප්‍රසාදලාභී පවුල් වල දරුවන්ගේ ජීවිත වඩා යහපත් කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටින පදනමක්. අපගේ ‘පියවර’ පෙරපාසල් වල දරුවන්ට යහපත සැලසීම සඳහා මේ ආකාරයට ‘හොපර්ස් ලන්ඩන්’ සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම ව්‍යාපෘතිය ඔස්සේ මේ අභියෝගකාරී කාලසීමාවේදී එම දරුදැරියන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට අපට හැකි වේවි.” ශිරෝමි මාසකෝරාළ මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය. 

හේමාස් හෝල්ඩින්ස් යටතේ පිහිටුවා ඇති හේමාස් අවුට්රීච් පදනම, හේමාස් සමූහයේ ආයතනික සමාජ සත්කාර කටයුතු වලදී පෙරමුණ ගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක වැදගත්කම ප්‍රචලිත කිරීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරයි. හේමාස් අවුට්රීච් පදනමේ මෙහෙවර වන්නේ ‘මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඔස්සේ ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාදලාභී දරුවන්ගේ ජීවිත පෝෂණය කිරීම’ ය. මේ වනවිට රට පුරා දරුවන් සහ පවුල් 70,000 කට අධික සංඛ්‍යාවකට යහපත සැලසීමට එම පදනම සමත් වී තිබේ. ‘පියවර’ (පෙර පාසල් ව්‍යාපෘතිය), ‘ආයති’ (ආබාධ සහිත දරුවන් සඳහා වන ජාතික මධ්‍යස්ථානය) සහ ‘එක සේ සලකමු’ (ඩවුන් සින්ඩ්‍රෝම් සහිත දරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරමින්, ඔවුන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය) යනු හේමාස් අවුට්රීච් පදනම ක්‍රියාවට නංවා ඇති ප්‍රධානතම ව්‍යාපෘති අතරින් කිහිපයකි. 


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply