නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් වැඩිදියුණු කළ ඩිජිටල් බැංකු සේවාවන් එකතුවක් හඳුන්වා දෙයි

Share with your friend

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ඩිජිටල් බැංකුකරණ සේවාව වන ‘Nations Direct’ හරහා සිය ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් නවතම සේවාවන් එකතුවක් හඳුන්වා දී ඇත. මෙම සේවාවන් සියල්ල එක් ප්‍රධාන සේවාවක් හරහා ලබාගත හැකි වීම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු ඇති අතර, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පිරිනමන බැංකුකරණ සේවාවන් රැසකට අදාළ ඩිජිටල් පහසුකම්   ‘Nations Direct’ සේවාවට ඇතුළත් කර තිබේ.  

මෙම සේවාවන් එළිදැක්වීමේ අවස්ථාවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පෞද්ගලික හා ආයතනික බැංකු සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්, බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණ වෘත්තිකයන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. එහිදී නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ Mobile App, Nations Direct Enterprise (NDE), Nations Alpha, E-box, Online banking, Smart statements සහ ATM සේවාවන් ඇතුළු ඩිජිටල් තාක්ෂණය මූලික කරගත් සේවාවන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබිණි. ඩිජිටල් සේවාවන් භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්වන ගනුදෙනුකරුවන්ට, එවැනි සේවාවන් රැසක් එක්තැන් කළ සරල හා සුරක්ෂිත සේවාවක් තුළින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳව මෙහිදී පෙන්වා දෙන ලදි. 

Nations Direct ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස ගනුදෙනු කිරීමට අවස්ථාව සලසා දෙන නිර්මාණශීලී විසඳුමක් වන අතර මෙය ක්ෂේත්‍රයේ අනෙකුත් විසඳුම් හා සේවාවන්ට සාපේක්ෂව පැහැදිලිවම වෙනස් සහ සුවිශේෂී විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.  

“අප මේ අවස්ථාව සංවිධානය කළේ, අපගේ ඩිජිටල් සේවාවන් මගින් ලබාගත හැකි ප්‍රයෝජන මොනවාද යන්න ගනුදෙනුකරුවන්ට පෙන්වා දීමේ අරමුණිනුයි. ආරම්භයේ පටන්ම අප ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් නිවැරදිව තේරුම් ගනිමින්, එම අවශ්‍යතාවන් සපුරාලන විසඳුම් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. අපගේ සේවාවන් භාවිතා කිරීමේදී ඔවුන් ලබන අත්දැකීම, තවදුරටත් නවීන තාක්ෂණයන් වැළඳ ගැනීමට මෙන්ම ඩිජිටල් සේවාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට ඔවුන් යොමුකර ඇති බව පැහැදිලියි. මෙය පාරිභෝගික තෘප්තිය ඉහළ නංවන අතරම ඔවුන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට බලපාන සාධකයක්.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති රන්දිල් බොතේජු මහතා පැවසී ය. 

උත්සවය අතරතුර සැලසුම්, මූල්‍ය හා තාක්ෂණ ක්ෂේත්‍ර වලට සම්බන්ධ ප්‍රවීණ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් යුත් විශේෂ සංවාදයක්ද පැවැත්විණි. මෙහිදී Advocata Institute හි සභාපති මුර්තසා ජැෆර්ජී මහතා ‘Design Thinking’ විෂය පිළිබඳවද, WSO2 ප්‍රධාන විධායක නිලධාරී සංජීව වීරවර්ණ මහතා ‘Middleware and International Markets’ යන මාතෘකාව යටතේද, John Keells Holdings PLC හි විධායක උප සභාපති රමේෂ් ෂන්මුගනාදන් මහතා තාක්ෂණය සහ ඩිජිටල් පරිවර්තනය පිළිබඳවද, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා Mastercard ප්‍රධාන කළමනාකරු සඳුන් හපුගොඩ මහතා ඩිජිටල් පරිවර්තනය පිළිබඳවද අදහස් දැක්වූහ. එමෙන්ම විවිධ විෂයන් සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන් විමසූ ප්‍රශ්න වලටද ඔවුහු පිළිතුරු ලබාදුන්හ. 

ඉදිරියටත් සිය ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙමින්, ඔවුන්ට උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව ඩිජිටල් බැංකුකරණ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අරමුණ වී තිබේ. 

දිවයින පුරා ශාඛා 96 ක් ස්ථාපිත කර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික, වාණිජ හා ආයතනික ගනුදෙනුකරුවන් රාශියකට සේවාවන් සලසයි. එමෙන්ම නවීන ඩිජිටල් බැංකුකරණ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමුකර ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi ද හඳුන්වා දෙන ලදි. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලයද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ.

01 ඡායාරූපය – උත්සවය අතරතුරදී  ප්‍රවීණ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු සංවාදය

02 ඡායාරූපය – නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂක / ප්‍රධාන විධායක නිලධාරී හේමන්ත ගුණතිලක මහතා උත්සව සභාව අමතමින්

03 ඡායාරූපය – උත්සවය අතරතුර Nations Direct ඩිජිටල් සේවාවන්හි අත්දැකීම ලබන නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ පාරිභෝගිකයෙක්


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply