ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සහය හිමි නව ඩිජිටල් පරිවර්තන වැඩසටහනක් ඔස්සේ සිවිල් ලියාපදිංචිය සහ ජීව සංඛ්‍යාති පද්ධතිය ශක්තිමත් කරයි.

Share with your friend

රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමේ උත්සාහය වේගවත් කිරීම සඳහා පුරෝගාමී ‘One Registry’ වැඩසටහන හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක් වී ‘Transforming Local Administrative Data Collection Systems for SDG Acceleration’ නමින් ඒකාබද්ධ වැඩසටහනක් දියත් කර තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සිවිල් ලියාපදිංචිය සහ ජීව සංඛ්‍යාති පද්ධතිය (Civil Registration and Vital Statistics හෙවත් CRVS system) තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ගන්නා ලද වැදගත් පියවරකි.

‘One Registry’ ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘතිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග එක්ව ක්‍රියාවට නංවා ඇති අතර එයට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඉලක්ක අරමුදලේ සහය හිමි වේ. විශේෂයෙන්ම රටේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ජනතාව ඇතුළුව සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන්ට උසස් තත්වයේ රාජ්‍ය සේවාවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන, රටේ ඩිජිටල් පරිවර්තනය සම්බන්ධයෙන් රජය සතු දැක්මටද සමගාමී වේ. එමෙන්ම එය වඩාත් අන්තර්කරණය වූ ඩිජිටල් පරිවර්තනයක් සහ තිරසාර සංවර්ධනයක් සඳහා මහෝපකාරී වනු නිසැක ය.

මෙම වැඩසටහන නිල වශයෙන් දියත් කිරීමේ උත්සවය පසුගියදා කොළඹදී පැවැත්වුණු අතර ඊට ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, රෙජිස්ට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.ඒ.එන්.එස්. විජයසිංහ මහතා, ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රොන්ච් මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන නිලධාරිනී ශලාලා අහ්මදෝවා මහත්මිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් සහ සංවර්ධන නියෝජිත සමාගම්, පෞද්ගලික හා රාජ්‍ය සමාගම් සහ සිවිල් සංවිධානවල නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

මෙම වැඩසටහනේ වැදගත්කම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ අදහස් පළකළා ය. “CRVS පද්ධතිය ශක්තිමත් කිරීම යනු රාජ්‍ය පරිපාලනය වැඩිදියුණු කිරීම සහ අපගේ ඩිජිටල් න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීම සම්බන්ධ වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. විනිවිදභාවය, අන්තර්කරණය සහ දියුණුව මූලික කරගත් මෙම වැඩසටහන මගින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වඩාත් පහසුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වන අතර, එමගින් ඔවුන්ට පිළිගත් නීතිමය අනන්‍යතාවක්ද හිමි වෙනවා.”

මෙම වැඩසටහන ප්‍රධාන අංශ 3 ක් මූලික කරගනිමින් ක්‍රියාත්මක වේ. ඉන් පළමුවැන්න නම් සිවිල් ලියාපදිංචි ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමයි. දෙවැන්න ප්‍රධාන රාජ්‍ය ආයතන සම්බන්ධ කරන අන්තර්ක්‍රියාකාරී ලියාපදිංචි පද්ධතියක් ස්ථාපිත කිරීම වන අතර, තුන්වැන්න වන්නේ මෙම පද්ධතිය මගින් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට හැකි වන ආකාරයට xමහජන දැනුවත්භාවය හා ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම ය. මෙය විද්‍යුත් ජාතික හැඳුනුම්පත (e-NIC) සහ Sri Lanka Unique Digital Identity (SLUDI) වැනි ව්‍යාපෘති සාර්ථක කරගැනීම සඳහා සුවිශාල පිටිවහලක් වනු ඇති අතර, ඒ ඔස්සේ ඒකාබද්ධ සහ ඩිජිටල් වශයෙන් අන්තර්කරණය වූ සමාජයක් බිහි කිරීමේ දැක්ම යථාර්ථයක් බවට පත්කරගැනීම පහසු වනු ඇත.

“CRVS වැඩසටහන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමන් මගේ ඉතා වැදගත් අදියරක්. එමගින් සෑම කෙනෙකුටම නීතිමය අනන්‍යතාවක් හිමි වන අතර, දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා බෙහෙවින් වැදගත් වන ගුණාත්මක දත්ත රැස්කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. නිවැරදි ප්‍රතිපත්ති සහ හවුල්කාරීත්වයන් ඇති විට, ඩිජිටල් තාක්ෂණය මගින් තිරසාර සංවර්ධනය බලගන්වමින් වගවීම සහ රජ්‍යකරණය වඩාත් ඉහළ මට්ටමකින් තහවුරු කිරීමට පුළුවන්. මේ ආකාරයට කිසිවෙකු අත්නොහැරෙන පුද්ගල-කේන්ද්‍රීය පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා රජයට අත්වැලක් වීමට හැකි වීම පිළිබඳව ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙහෙවින් සතුටු වනවා.” ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-අන්ද්‍රේ ෆ්‍රොන්ච් මහතා පැවසී ය.

“ගුණාත්මක රාජ්‍ය සේවාවන් වෙත සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීම සඳහා රටේ සිවිල් ලියාපදිංචිය සහ ජීව සංඛ්‍යාති පද්ධතිය නවීකරණය කිරීමේ ඒකාබද්ධ වැඩසටහන දියත් කිරීම වෙනුවෙන් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අරමුදල හරහා ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. ඒකාබද්ධ SDG අරමුදලේ ඩිජිටල්කරණ වැඩසටහනට ගෝලීය මට්ටමින් දායක වන්නෙකු වශයෙන්, යුරෝපා සංගමයේ Global Gateway අරමුදල් හරහා ඩිජිටල්කරණය සඳහා කෙරෙන ආයෝජන, සෘජුවම අන්තර්සම්බන්ධිත තිරසාර සංවර්ධන ඉලක්කවල ප්‍රගතිය සඳහා දායක වනු ඇති. ඩිජිටල්කරණය සහ දත්තවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විශිෂ්ටතම ක්‍රමවේදයන් හුවමාරු කරගැනීමට යුරෝපා සංගමය සෑම විටම සූදානමින් සිටිනවා.” ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා යුරෝපා සංගමයේ ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩාල් මහතා පැවසී ය.

‘One Registry- Everyone Counts! හැමෝම වැදගත්! அனைவரும் முக்கியம்!’  ව්‍යාපෘතිය යනු තිරසාර සහ ඉහල නැංවිය හැකි ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන සහ දත්ත මූලික කරගත් ප්‍රතිපත්ති සම්පාදනයට අත්වැලක් වන ව්‍යාපෘතියකි. එය රටේ ඩිජිටල් අන්තර්කරණය බලගන්වමින් ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම සඳහා සුවිශාල පිටිවහලක් වනු නිසැක ය.

අවසානයි –

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳව

එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව සමග එක් වී, කිසිවෙකුත් අත් නොහැරෙන ආකාරයේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නංවමින් සිටී. ප්‍රධාන සංවිධානය ලෙස මෙන්ම එයට අනුබද්ධ නියෝජිතායතන‍, අරමුදල්, වැඩසටහන් සහ කාර්යාල හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට තිරසාර සහ අන්තර්කරණය වූ ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි. උසස් තත්වයේ සමාජ සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම, මානව කුසලතා ශක්තිමත් කිරීම සහ මානව හිමිකම් හා සමාජ සහජීවනය දිරිගැන්වීමද මෙම මෙහෙවරට ඇතුළත් ය.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: https://srilanka.un.org/

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පිළිබඳව

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වැඩසටහන් අතරින් දරිද්‍රතාව, අසමානතාව සහ දේශගුණ විපර්යාස අවම කිරීම සඳහා කටයුතු කරන ප්‍රධානතම වැඩසටහනයි. මෙම මෙහෙවර වෙනුවෙන් රටවල් 170 කට අධික සංඛ්‍යාවක විශේෂඥයන් සහ හවුල්කරුවන් සමග අත්වැල් බැඳගෙන අපි ජනතාව සහ පෘථිවිය වෙනුවෙන් ඒකාබද්ධ සහ දිගු කල් පවතින විසඳුම් නිර්මාණය කිරීමට රටවල් වලට සහය වන්නෙමු.

වැඩිදුර තොරතුරු සඳහා www.undp.org/srilanka වෙත පිවිසෙන්න. නැතිනම් @UNDP follow කරන්න.

සම්බන්ධතා තොරතුරු: Socialmedia.lk@undp.org | 0779804188 | Ext. 1501 Get in touch: UNDP on X | Facebook | Instagram | LinkedIn

ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිබඳව

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සංවිධාන අතරින් සෞඛ්‍යය වෙනුවෙන් කැප වුණු සංවිධානය වන ලෝක සෞඛ්‍ය සංවිධානය (World Health Organization) 1948 අප්‍රේල් 07 දින ආරම්භ කරන ලදි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධාන අතරින් ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම සංවිධානයද ලෝක සෞඛ්‍ය සංවිධානයයි (1952 වසරේදී). ආරම්භයේ පටන් මේ දක්වාම ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා කැපවුණු අන්තර්-රාජ්‍ය සංවිධානයක් ලෙස කටයුතු කරමින් සිටී. මෙම මෙහෙවර තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමානත්වය, සාධාරණත්වය සහ ප්‍රතිචාර දැක්වීම යන මූලධර්ම යටතේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා කැප වී සිටින අතර, එහිදී විශේෂයෙන්ම දරිද්‍රතාවෙන් පෙළෙන සහ කොන් කරනු ලැබූ ජනතාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරේ. 


Share with your friend