DFCC ආලෝකා සහ DOC 990 එක් වී දැයේ වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

Share with your friend

DFCC බැංකුව Dialog Axiata PLC හි Doc990 සේවාව සමග එක් වී වනිතාවන් වෙනුවෙන් දීපව්‍යාප්ත වෛද්‍ය උපදේශන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට පියවර ගෙන තිබේ. මෙහි සමාරම්භක කඳවුර 2023 අගෝස්තු 16 දින පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවැත්විණි. 

දැයේ වනිතාවන් වෙනුවෙන්ම සැලසුම් කළ සුවිශේෂී බැංකුකරණ සේවා විසඳුමක් වන DFCC ආලෝකා, ඔවුන් මුහුණ දෙන සුවිශේෂී ගැටලු සහ අභියෝග සඳහා විසඳුම් සෙවීමට කැපීපෙනෙන මෙහෙවරක් ඉටුකරමින් සිටී. මේ වනවිට Doc990 සේවාව සමග එක් වී ඔවුන්ට සතියේ සෑම දිනකම පැය 24 පුරා තම නිවෙස්වල සිටම වෛද්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමටද DFCC ආලෝකා පියවර ගෙන තිබේ. 

මේ යටතේ DFCC ආලෝකා ගිණුම් හිමි වනිතාවන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් තුන් දෙනෙකුට, සුදුසුකම් ලත් වෛද්‍යවරුන් වෙතින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීම, ඖෂධ ඇණවුම් කර ගෙන්වා ගැනීම, ජංගම රසායනාගාර සේවාවන් ඇතුළු තවත් සෞඛ්‍ය සේවාවන් රාශියක් මෙන්ම, රෝහල් චැනලින් සේවා ගාස්තු සඳහා සුවිශේෂී වට්ටම්ද හිමිකර ගැනීමට හැකි වේ. තවද ඔවුන් තම එදිනෙදා ජීවිත තුළ ඉටුකරන සුවිශේෂී සහ විවිධාකාර වූ භූමිකාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුතුව මෙම දීමනා සහ ප්‍රතිලාභ සැලසුම් කර ඇත. 

DFCC බැංකුවේ අනුරාධපුර ශාඛාවේදී පැවති වෛද්‍ය උපදේශන කඳවුරට DFCC ආලෝකා ගිණුම් හිමි කාන්තාවන් ඇතුළුව ප්‍රදේශවාසී කාන්තාවන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ.  අනුරාධපුර ප්‍රදේශයේ සුප්‍රකට රෝහලක් වන කැනෝලා රෝහල මගින් මෙම වෛද්‍ය කඳවුර මෙහෙයවන ලදි. මෙහිදී පූර්ණ සෞඛ්‍ය පරීක්ෂාවන්ට අමතරව අක්ෂි පරීක්ෂාවන්ද සිදුකරන ලද අතර, රෝගීන්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමටද අවස්ථාව උදා විය. 

“මෙය DFCC ආලෝකා ගමන් මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්. මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් Doc990 සේවාවට සහ කැනෝලා රෝහලට අපගේ ස්තූතිය මෙසේ පිරිනමනවා. DFCC බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ වනිතාවන්ට තම සිහින සැබෑ කරගැනීමට අත්වැලක් වීමටයි.  සඳහා ඔවුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම තහවුරු කිරීම අත්‍යවශ්‍යයි. ඒ නිසා මෙම දීපව්‍යාප්ත සෞඛ්‍ය කඳවුරු වැඩසටහන ක්‍රියාවට නැංවීමට අප පියවර ගත්තා.” DFCC බැංකුවේ ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී ශේරා හසන් මහත්මිය පැවසුවා ය. 

“නව ආකාරයේ සෞඛ්‍ය සේවාවන් සඳහා ඇති ඉල්ලුම සපුරාලීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මේ ආකාරයට DFCC ආලෝකා වැනි පුරෝගාමී සේවාවක් සමග එක් වී මෙවැනි වැඩසටහනක් දියත් කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය යටතේ දැයේ වනිතාවන්ට දිගින් දිගටම පහසුවෙන් භාවිතා කළ හැකි ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා. මෙමගින් ඔවුන්ට නවීනතම තාක්ෂණය ඔස්සේ ඉතාමත් පහසුවෙන් තම සෞඛ්‍ය අවශ්‍යතා කළමනාකරණය කරගැනීමට හැකි වේවි.” Doc990 ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනිත් පීරිස් මහතා පැවසී ය. 

DFCC බැංකුව සහ Doc990 සේවාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සමාරම්භක සෞඛ්‍ය කඳවුරට සහභාගී වූහ. මෙම හවුල්කාරීත්වය DFCC ආලෝකා හරහා මෙරට වනිතාවන්ට ඉහළ තත්ත්වයේ මූල්‍ය සේවාවන් සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනැමීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්විය හැකි වේ. 

DFCC බැංකුව පිළිබඳව 

DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ. 

Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. 

Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

    Leave a Reply