HNB ලීසිං ගොවීන් නගා සිටුවීම වෙනුවෙන් කෘෂි නිෂ්පාදන සඳහා ‘ගොවි සවිය’ ලීසිං පහසුකම් හඳුන්වා දෙයි

Share with your friend

ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප‍්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ගොවි ජනතාව නගා සිටුවීම හා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් සිදු කරන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් ගොවි ජනතාව වෙනුවෙන් සහාය දැක්වීමේ සුවිශේෂී වැඩසටහනක් පසුගියදා හඳුන්වා දුන්නේය. HNB ලීසිං යටතේ එසේ හඳුන්වා දෙනු ලැබූවේ ‘ගොවි සවිය’ වැඩසටහනයි.

බැංකුවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන්ගේ සහාය ඇතිව ක්ෂුද්‍ර මූල්‍ය අංශය විසින් ක‍්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන තුළින් කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය නවීන උපකරණ සහ දැනුම බෙදා දීම මෙන්ම කර්මාන්තය නගා සිටුවීම HNB හි අරමුණ වී ඇත. මෙහි සමාරම්භක අවස්ථාවට HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආයතනික බැංකුකරණ සමූහය (Wholesale Banking Group) දමිත් පල්ලෙවත්ත, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ ක්ෂුද්‍ර මූල්‍ය රජිව් දිසානායක, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පාරිභෝගික සේවා බැංකුකරණ සමූහය සන්ජේ විජේමාන්න යන මහත්වරුන් ඇතුළුව ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන් සහ ප‍්‍රමුඛ පෙළේ කෘෂි කාර්මික ආයතන රැසක්ද එක්ව සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආයතනික බැංකුකරණ සමූහය (Wholesale Banking Group) දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ ‘‘අපගේ පාර්ශවකරුවන් සමඟ එක් වෙමින් එක් ගොවියකුගේ සිට විශාල පරිමාණ ආයතන දක්වා සෑම ශ‍්‍රී ලාංකිකයකුම නගා සිටුවීම වෙනුවෙන් ‘HNB ලීසිං ගොවි සවිය’ වැඩසටහන දියත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙරට ඉඩම්වලින් අඩකට වැඩි ප‍්‍රමාණයක් කෘෂි කර්මාන්තය වෙනුවෙන් වෙන් කර ඇතත් තවමත් දළ ජාතික නිෂ්පාදනයට කෘෂි කර්මාන්තයේ දායකත්වය ඇත්තේ 6.5%ක් පමණයි. මෙම වැඩසටහන තුළින් එම ප‍්‍රතිශතය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වන අතරම සාම්ප‍්‍රදායිකව කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවීන් වෙත නව්‍යකරණ හා මූල්‍ය සම්පත් වෙත පිවිසීමේ අවස්ථාව උදා වනවා. ‘HNB ලීසිං ගොවි සවිය’ හරහා නවීන මූල්‍ය විසඳුම් ලබා දෙමින්  ඕනෑම අභියෝගයකට මුහුණ දීම සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දීමට අපේක්ෂිතයි.’’ යනුවෙනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ ‘‘ගොවීන්ගේ අවශ්‍යතා හඳුනා ගැනීම හා ඒවා සපුරාලීම සඳහා අපි ක්ෂුද්‍ර මූල්‍ය නිලධාරීන්ගේ සහ ප‍්‍රමුඛ පෙළේ කෘෂිකාර්මික සමාගම් සමඟ එක්ව කටයුතු කරනවා. ඒ තූලින් ගොවීන්ගේ ඵලදායීතාව හා ආහාර සුරක්ෂිතතාව ඉහළ නංවා ගැනීමට අවශ්‍ය කෘෂි උපකරණ ඔවුන් වෙත ලබා දිය හැකියි. ශ‍්‍රී ලාංකේය ආර්ථිකයේ සහ ජනතාවගේ යහ පැවැත්මේ සුවිශේෂී සාධකයක් වන කෘෂි කර්මාන්තය තිරසාර හා දියුණු කර්මාන්තයක් බවට පත් කිරීමට මෙම වැඩසටහන ඉවහල් වනු ඇතැයි මා විශ්වාස කරනවා.’’ යනුවෙනි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් සිය කැපවීම ප‍්‍රදර්ශනය කළ HNB කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදනය කරනු ලබන සැපයුම්කරුවන් 6 දෙනෙකු සමඟින් සහයෝගීතාවක් ඇති කර ගැනීමට කටයුතු කළේය. ඒ අනුව බ‍්‍රවුන්ස්,  ඩිමෝ,  හේලීස් ඇග‍්‍රිකල්චර්, ලංකා කොමර්ෂල් ටේ‍්‍රඩින්, සිංගර් ශ‍්‍රී ලංකා සහ  AMW යන සමාගම් සමඟ ඇති කරගනු ලැබූ මෙම සහයෝගීතාව තුළින් ගොවීන් වෙත පහසු ලීසිං පහසුකම් ගෙන ඒමට HNB කටයුතු කරනු ඇත. එහිදී විශේෂයෙන් යල, මහ කන්න ගෙවීම් ක‍්‍රමයන් තුළින් අවම පොලියක් යටතේ නම්‍යශීලී ආකාරයෙන් ආපසු ගෙවීමේ පහසුව ‘HNB ලීසිං ගොවි සවිය’ වෙතින් ගොවි ජනතාව වෙත ලබා දෙනු ඇත.  

මේ යටතේ විශේෂයෙන් ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික කලාප ලෙස සැලකෙන උතුරු පළාත, නැගෙනහිර පළාත, උතුරු මැද, ඌව, සබරගමුව සහ දකූණු පළාත්වල ගොවි ජනතාවට යල සහ මහ කන්න සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ‘HNB ලීසිං ගොවි සවිය’ සූදානමින් සිටී.


Share with your friend
Leave a Comment

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply